Friday, September 21, 2012

රුදු රළ පෙළ මත දිවි.. 7


හැමදාම වගේ අදත් අපි ආවේ මුහුද බලන්න... ගෙදර ඉද්දිත් මේක දිහා බලාගෙන ඉන්නේ... දැන් ඇවිල්ලත් අපි දෙන්නා කතා නැතිව මුහුද දිහා බලාගෙන ඉන්නවා..

නිහැඬියාව මැදින් මුහුද දිහා බලාගෙන නිරාශා මිමිණුවා....

මට තවත් එක දෙයක් තියෙනවා නිරූ එහෙම එපා නොවෙන....

ඒ මොකක්ද?

ඒ ඔයා... කොච්චර දැක්කත් එපා වෙන්නේ නෑ....

එහෙමනම් කොච්චර දෙයක්ද සුරේශ්... රිසල්ට්ස් බලලා ගෙදර ගියාට පස්සේ මටත් අනිත් කෙල්ලොන්ට දැනෙන බයම දැනුනා... ඔයා ලොක්කෙක් වුනාට පස්සේ මාව එපා වෙයිද කියලා.. එහෙම උනත් කමක් නෑ කියලා හිත හදා ගත්තා...

මට ඔයා අමතක වෙන්නේ නෑ මගේ මැණික,,,,

හරියටම උදේ 8 වෙනකොට දුම්රිය පොලට මුණ ගැහුන මේ දෙන්නා කෝච්චියේම ආවේ ගාලු කොටුවට... කුඩ යට තුරුලු වෙලා හිටපු සිය ගානක් පෙම්වතුන් අතරට එකතු වුන සුරේශ් සහ නිරාශා ඒ හැම පෙම්වතෙක් වගේම තමන්ගේ අනාගතය ගැන හීන මවන්න පටන් ගත්තා... ගල් කාණුව දිගේ පෙම් යුවලවල් 10ක් විතර, වෙන වෙන ලෝකවල තනිවෙලා හිටියා... නිරාශාත් සුරේශ්ගේ ලය මත හිස තබා ගත්තේ ප්‍රේමය විඳින්නට තිබෙන නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නට වෙන්න ඇති..

නිරූ...

ම්ම්ම්ම්ම්.....?

ඇත්තටම ඇයි ඔයාට මට ආදරේ හිතුනේ....

මම දන්නේ නෑ සුරේශ්... මම දැනටත් දන්නේ මට එහෙම හිතුනා කියලා විතරයි...

අද හරි නිදහස් නේද නිරූ... නිරාශාගේ උරහිස වටේ ගිය සුරේශ්ගේ වමතේ ඇඟිලි තුඩු ලතාවකට ඉහල පහල යන්න උනා... ඒ එක්කම සුරේශ්ගේ තොල් නිරාශාගේ නලල් තලයට පහත් වුනා... ජීවිතේ පළවෙනි වතාවට විඳින මේ සුවය දරාගන්නට බැරිව නිරාශාගේ දෑස පිය වුනා...

*******

අජියා වරේ.........න්.......

මොකද **තො බෙරිහන් දෙන්නේ....

යමන් රා කට්ටක් ගහමු.. මගේ ගානේ...

ආරන්චියි.. මලයා උඩින්ම ගොඩ ගිහින් කියලා.. ඒකනේ මචන් කියන්නේ,,, කරදර පස්සෙන් එන්නේ සුභ ආරන්චි කියලා...

සිරා හැගීමක් බන් හිතේ තියෙන්නේ... යමන් යමන්....

කාලෙකින් මුණ ගැහුන හොඳම යාළුවෝ දෙන්නා රා තැබෑරුම පැත්තට පිය එසෙව්වා....

මේ සුජියා....

කියපන්...

උඹ මොකද කරන්නේ හවස...

ලොකු වැඩක් නෑ...

සනසේ මැනේජරයා එන්න කිව්ව හවස... ඌව හම්බෙන්න යමුද?

ඒ පාර උඹ මොනාද කරන්න හදන්නේ?

මම  ත් එක්ක කතා කලා ලක්ශෙක ලෝන් එකක් ගන්න... ඒකෙන් අපි මාළු ටිකක් අරන් පටන් ගමුද පොඩි වැඩක්..

මගෙ ඔය අදහස නම් තිබ්බා අජියා.. හවුලෙ කරනවානම් උ තරම් හොද වෙන යාලුවෙකුත් නෑ.. මේ රා ශොට් එක ඉවර වෙන්න කලින් මම උඹට වචනයක් දෙන්නම්....

අපි කවදාහරි දියුනු වෙන්න ඕන බන්... හැමදාම අනුන්ගේ බෝට්ටුවලම ජීවිතේ ගෙවන්න බෑ බන්...

ඇත්ත... ඕකම මගේ ඔළුවෙත් වැඩ කරනවා මචන්...

ඊයේ රෑ මද්දුවා වෙරළට ගිය වෙලාවේ සිද්ද වෙච්ච කතාබහ ආයෙත් සුජිත්ගේ ඔලුවට ගලාගෙන ආවා..

ලොකු පුතේ...

ඇයි අම්මේ..

තාත්තට දැන් මුහුදු යන්න අමාරුයි... නරකද උඹ පොඩි වෙළදාමක්වත් පටන් ගන්න හිතුවොත්....

මගෙ හිතෙත් ඕක තියෙනවා අම්මේ... ඒත් ඒවාට ප්‍රශ්ණ ගොඩයි...

ලොකු පුතෙ.. ප්‍රශ්ණ කිය කියා හිටියනම් අද උඹත් ඔතන නෑ... දැන් මොනවැයි ඔය ප්‍රශ්ණ..

ලොකුම එක අම්මේ සල්ලි නෑ.. අනික මාළු ඇර වෙන වෙළදාමක් කරන්න සල්ලි නෑ...

ඉතින් මාළු වෙළදාමක්ම කරහන්කෝ.. මම සල්ලි ටිකක් දෙන්නම්...

අම්ම ගාව කොයින්ද සල්ලි....

මම උඹලගෙ තාත්තත් එක්ක ඇවිත් දැන් අවුරුදු 30ක්... හැමදාම උබලගේ තාත්තා මගේ අතට කීයක් හරි දුන්නා.. ඒකෙන් ඉතිරි කරපු ඔක්කොම සල්ලි ටික තියෙනව කුස්සියේ තියෙන කලේ.. මට ඕවා තේරෙන්නේ නෑ... උඹම ගැනලා බලහන්,,,

තාත්තාත් ඉන්න වෙලාවක ගනිමු අම්මේ... සුජිත් හිතේ අම්මා ගැන ආඩම්බරයක් එක්ක ගෞරවයක් ඇති වුනා... අදම ගිහින් මේ ගැන කතා කරන්න ඕන කියලා හිතද්දි මුවට නැගුනේ හීනි හිනාවක්..

මොකද බන් තනියෙන් හිනාවෙන්නේ.. උඹට ඩෝප් ද?

අපි අර වැඩේ පටන් ගමු මචන්.. හවස යමු....

අන්න මස්සිනා... එළකිරි... යමන්... තව එක දෙයක් තියෙනවා..

ඒ පාර මොන ***ක්ද?

ඒකක් තමයි බන්.. අර මාටින්ගේ දුව නිර්මලා ගැන මොකද උඹ හිතන්නේ...

හොඳ කෙල්ල... ඇයි?

මට ඒකිට බැල්ම දාන්න හිතක් පහල වෙනවා...

කිසි අවුලක් නෑ.. ඒකි එහෙ මෙහෙ ගිහින් චාටර් වුනා කියලත් මම අහල නෑ..

මම ඊයෙ පොඩ්ඩක් සීන් එකට එන්ටර් වුනා.. අවුලක් නෑ වගේ.. 

ඔන්න පුතා.. උඹ අපිට කියන්නේ පෙරහැර ගියාට පස්සෙනේ.. 

නෑ බන්, පවුලට පෑහෙන එකෙක් එපායැ කර ගහගන්න...

මම ඕනනම් ශ්‍රියා නැන්දට කියන්නම්....

මේ මචන්..., මම වැඩේ කරගන්නම්.. උඹ ඕක අහන්න ගියොත් ඔය ගෑනි කියයි අජිත් පුතාට නෙවෙයි පුලුවන්නම් උඹ අරගෙන පලයන් කියලා.. ඇයි මේ ගමේ ගෑනු හිතන් ඉන්නේ උඹ හෙන බෝධි සත්ත්වයා කියලනේ...

ඒකටනම් දෙන්නටම හොද හැටියට හිනා ගියා...

*******

දැන් නම් ගොඩාක් දවල් වෙලා සුරේ.. අපි යමුද? නිරාශා ඇහුවේ කැමැත්තකින් නෙවේ...

යමු.. නිදහස උනත් ඕනවට වඩා පාවිච්චි කරන්න හොඳ නෑ.. කෝච්චියේම යමු..

හා.. මොනවාහරි කාලා යමු... මට බඩ ගිනියි...

හරි නිරු.. මොකෝ මේ ඇඳුම් අවුල් කරගෙන... තම ඇඳුම නිසි ලෙස සකසමින් හිටපු නිරාශාගෙන් සුරේශ් ඇහුවේ පොඩි හිනාවකුත් එක්ක...

කවුද දන්නේ නෑ අවුල් කලේ.. මම අද තමයි දන්නේ උපාසකයගේ තරම... 

ප්‍රතිපල නිසා හිතේ තිබුනු සතුටත්, අද තනිවෙච්ච නිසා හිතේ තිබුනු සතුටත් නිසා නිරාශා සහ සුරේශ් හිටියෙ හරිම සතුටින්... නිරාශාගේ සුලගිල්ල ආදරෙන් අල්ලගෙන සුරේශ් ගාල්ල බස් නැවතුම්පලට පිය නගන්න වුනා...

*******


කුකුල් මස් සුවඳ නහයට දැනෙන කොට සුරේශ් හිටියේ කාමරේ පොතක් කියවන ගමන්... සුජිත් ඇවිත් ඇඳේ ඉඳගද්දි පොත වහපු සුරේශ්, අයියට ඉඩ දීලා ඇඳේ අනික් කෙළවරේ ඉඳ ගත්තා.. ඇඳේ කිරි කිරි සද්දේ දෙන්නටම අමුත්තක් වුනේ නෑ... 

දැන් උඹලා දෙන්නා අද ගාලු කොටුවට වෙලා මොනවද කතා කලේ....?

අයියා කොහොමද දන්නේ අපි ගාලු ගියා කියලා...

හරි, ඒවා වැඩක් නෑ... දැන් කියපන් උඹලා දෙන්නා මොනවද කරන්න හදන්නේ කියලා...

විශේශ දෙයක් නෑ අයියේ.. කැම්පස් පටන් ගන්නකන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඉන්නේ.. සීසන් එක අරගෙන කොළඹ ගිහින් හොද ඉංග්‍රීසි කෝස් එකක් කරනවා... නිරූනම් එහෙ නැවතිලාම බ්‍රිටිශ් කවුන්සිල් කරනවලු.. අපිට එච්චර සල්ලි නෑනේ අයියේ..

හොදයි.. දැන් ප්‍රේමසිරියා දන්නවද මේ හුටපටේ...

නෑ කියලා තමයි හිතෙන්නේ.. නිරූනම් කියනවා දැනගෙන සද්දෙ වහලා ඉන්නවද දන්නෙත් නෑ කියලා...

ඔව්.. මටත් එහෙමයි හිතෙන්නේ.. ඕකා හෙන කපටිය.. ලෝයර් හින්දා අයින් කරන්නත් බෑ.. මාලු කාරයාගෙ පුත හින්දා ලං කර ගන්නත් බෑ කියලා හිතනවා ඇති.. මම ආවේ ඒක කියන්න නෙමෙයි... අද ගියා මමයි අජියයි සනසෙ මැනේජර් හම්බෙන්න...

ඉතින්...

මිනිහා අජියාට ලක්ශෙක ලෝන් එකක් දෙන්නම් කියලා.. මමත් එක්ක එකතු වෙන නිසා ලක්ශ දෙකක් දෙන්නම් කිව්වා.. පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ අපි දෙන්නා.. 

ඒක හොදයි... අයියා අම්මයි තාත්තයි එක්ක කතා කලාද මේ ගැන..

අද රෑ කතා කරමු... උඹත් වරෙන්කො...

හරි අයියේ....

රෑ කෑම කාල ඉවර වෙද්දි කට්ටියගෙම හිතේ තිබ්බේ හීනි සතුටක්... සාදයක් නොවුනත් කාලෙකට පස්සේ ගෙදර අය එකතුවෙලා එකට කෑම ගැනීමම ලොකු දෙයක් කියලා ස්වර්ණාට හිතුනා... අස්පස් කෙරිලි පැත්තක තියලා, සාලෙට ආවේ වැදගත් කතාවක් කරන්න කියලා...

මහත්තයො.. මේ ලොකු පුතා බිසිනස් එකක් කොරන්න යනවයි කියන්නේ....

හ්ම්ම්ම්.....

හූ මිටිය යහපත්.. කොල්ලෝ තුන් දෙනා සාලෙට ආවේ මේ ගැන කථා කරන්න....

ඔව් තාත්තේ.. තාත්තා දැන් මහන්සි වුනා ඇති... මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ අජිත් එක්ක...

මට තාම දෑතෙ හයිය තියෙනවා ලොක්කෝ... අනික ඕවට කොයින්ද සල්ලි...

බැංකුවේ මහත්තයා ලක්ශ දෙකක ණයක් දෙන්නම් කිව්වා අවුරුදු 5කින් ගෙවන්න....

ලොකු පුතේ... අර කුස්සියේ මැස්ස උඩ ඇති පැලැස්තර දාපු කලේ... ඒකත් අරන් වරෙන්...

පොඩ්ඩො ඒක ගෙනෙන්....

හිරූශ ගෙනාපු කලේ තිබ්බ මුදල් නෝට්ටු එකින් එක සුජිත් එළියට අදින්න වුනා... රුපියල් දහසේ සහ පන්සියයේ කොල වලින් කලය භාගයක් පිරිලා තිබුනා...

කොහෙන්ද සුවර්ණෝ මෙච්චර සල්ලි උඹට..? ගුණපාල කවදාවත් මෙච්චර සල්ලියක් දැකලා තිබුනේ නෑ...

ඔහේ මේ අවුරුදු 30ට ගෙනත් දුන්න සල්ලිවල ඉතුරු ටික තමයි මහත්තයො.... කීයක් තියෙනවද ලොක්කෝ...

හැත්තෑ අටදාස් හයසීයක් තියෙනවා අම්මේ....

මම එච්චර ගෙනත් දුන්නද සුවර්නෝ.....

ඔයිට වඩා ගෙනිහින් දුන්නා බඩා මුදලාලියාට.....

කසිප්පු උගුරක් බීඩියක් නැති ජීවිතෙ මොකටද බන් මාළු කාරයෙකුට.....

දැන් ලොකු පුතේ, මොනා හරි කරපන් ඕකෙන්... 

කල්පනා කරලා බලමු අම්මේ... ටවුමේ කඩයක් ඇරියානම් හොඳයි කියලා හිතෙනවා... බලමුකෝ අජියා එක්කත් කතා කරලා... අම්මට බය හිතුනේ නැද්ද අම්මේ මෙච්චර සල්ලි ගෙදර තියාගෙන ඉන්න....

මම දන්නේ නෑ පුතේ ඔච්චර තියෙනවා කියලා... අද තමයි දැක්කෙත්... 

මෙවන් දිරිය කාන්තාවක් තම මව වීම ගැන පුතුන් තුල ජනිත වූයේ හැබෑම ආඩම්බරයක්....

මට දැන් මැරෙන්න භය නෑ පුතේ..... ගුණපාලගේ හැඬුම් ස්වරය ඒ රාත්‍රියට සංවේදීකමක් අරන් ආවා..  

පිංතූරය මෙතනින්....                                            මතු සම්භන්ධයි....

5 comments:

  1. සංවේදී කතාවක්. ටිකක් යතාර්ථයෙන් ශුභවාදී පැත්තට ගියා වගේ දැනුනා. ඒකෙන් රසවත් බවට හානියක් නෑ. ජය..!

    ReplyDelete
  2. කතාව අපූරුයි.. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම පරිසරයක හැදෙන අයගෙන් ඔයිට වඩා වෙනස් දෙයක්.. නමුත් මේ කතාව ගලාගෙන යන විදිහට මම කැමති..දිරියෙන් ජය ගන්න කතාවක් වෙන එක හොඳයි.. ඔශීන් වගේ.. ජය වේවා.. :)

    ReplyDelete
  3. එල සහෝ එල.. දිගලම ලියමු.. අපි බලන්ට එමි..

    ReplyDelete
  4. මොකෝ කතාව ඇණ හිටලා ???

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....