Thursday, August 30, 2012

රුදු රළ පෙළ මත දිවි.. 4


වෙසක් පෝය... කොත්දූව පංසලේ පිංකම් රැසක දවස... හිරූශ දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක් නිසාම පිංකමේ සෑහෙන වගකීම් ගොඩාක් කර පිට පැටලිලා තිබුනා... ගුණපාලත් ස්වර්ණාත් පංසලට යන්න හැදුවේ ඔවුන්ගේම ඔරුවේ... උදේ ඉඳන් පිලී ගඳ යනකම් ඔරුව හෝදපු ගුණපාලගේ හිතේ පංසල් යාම ගැන තිබුනේ අහිංසක ප්‍රීතියක්.. බඩ වියත රැක ගන්න මාළු අල්ලන එක කරාට, හිතේ කොණක තිබ්බ බලාපොරොත්තුව කොල්ලෝ තුන් දෙනා කවදහරි තමන්ව මේ පාපෙන් මුදවයි කියන එක.. ලොක්කා සුජියා සුසන්තයාගේ ටෝලරේ නගිනකොට නම් හිතුනේ ඒ පරපුරත් මේ මුහුදෙම යයි කියලයි, ඒත් උගේ අරමුණත් මල්ලිලා දෙන්නට හොඳට වියදම් කිරීම කියලා ස්වර්ණා තේරුම් කරලා දෙනකොට තමයි ගුණපාල යන්තම් හරි සැනසීමෙන් හුස්ම ගත්තේ...


සුරේශ් එක්ක සුජිත් පිටත් වුනේ කොළු රැලත් එක්ක පංසල් යන්න හිතාගෙන පාලම ගාවට යන්න... වැල්ලේ එල්ලපු බකට් ටිකට ලයිට් දමපු අයියා මලෝ, පාලම ලඟ දන්සලටත් පොඩි උදව්වක් කරලමයි කොණ්ඩ ඉශාගේ මෝටර් බෝට්ටුවට ගොඩ වුනේ..


මද්දු..

ලොකු අයියේ...

දැන් කෝමද උඹේ ප්‍රේම කථාව..? සුජියා දෙමවුපියෝ නැති එකේ උපරිම ප්‍රයෝජනය ගන්න හිතාගෙන ඇහුවා..

ඔන්න ඔහෙ යනවා අයියේ..

පරිස්සමින් කරගෙන පලයන්.. මම ඉස්කෝලෙ නොයන්නේ උඹලව ගොඩ දාන්න... ඒ නිසා ඉස්සෙල්ලා උඹ ඒ ගැන හිතලා හිටින්...

ඇයි..? අයියට අම්මවත් මොකුත් කිව්වද?

නෑ... අම්මට තියෙන එකම සැනසීම තමයි උඹ පරණ විදිහටම පාඩම් කරන එක.. ප්‍රේමසිරියගේ ගෑනිත් අරවා මේවා කියලා තියෙනවා අම්මට.. අම්මට බයයිලු ඒ ගෙදර උනුත් මේ ගැන දන්නව ඇති කියලා.. 

ඒක වෙන්න බෑ අයියේ... අපි වැඩිය එළි පහලියේ ගැවසෙන්නේ නෑ බන්...

ඒ කියන්නේ උඹලා දැන් යන්නේ කාමර ගානෙද..? ලොක්ක මද්දුවාගේ පිටට අතක් දාන ගමන් ඇහුවේ ඌට ලැජ්ජා හිතෙයි කියලා..

පිස්සුද ලොකු අයියේ.. මම කොහෙවත් ලව් කරන්න කියලා යන්නේ නෑ බන්.. හම්බෙන වෙලවට පොඩ්ඩක් කතා කරනවා.. මේක මහ පටලැවිල්ලක් කියලා මටත් තේරෙනවා අයියේ.. ඒත් මම ඒකිට ආදරෙයි.. විභාගේ ඉවර වෙනකන් ඔන්න ඔහෙ යනවා... ඊට පස්සේ බලනවා මොකක් හරි.. කිගෙ ආදරේ හරි අමුතුයි අයියේ.. ඒකයි මම කැමති...

හා හා... ඔය ඇති... කරන දෙයක් මොලේ ඇතුව කරහන්.. වැල්ලේ අනිත් එව්වෝ වගේ නෙවේනෙ අපි.. එක විදිහකට හිටපු මිනිස්සු.. ඒ නිසා ඒ ගැන හිතලා කරන දෙයක් කරපන් මද්දු.. දැන් බැහැපන්....

ලොකු අයියගේ අනින් හිස එසවූ මද්දුට පෙනුනේ දහස් ගණන් පහන් සිළු වලින් එකාලෝක වෙච්ච කොත්දූව රජ මහා විහාරය.. බෝට්ටුවෙන් බැස්ස වෙලේ ඉඳන් ඔහුගේ ඇස් හෙව්වේ එක රුවක්...

කලබල වෙන්න එපා මද්දු.. ගමේ ගෑනුන්ගේ ඇස් අපට වඩා තියුණුයි.. ඒ නිසා අද පරිස්සමින්...

මද්දුට එක පාරටම සිනා පිටවුනේ දැකපු දෙයින්...

මොකද මද්දු?

මමනම් යාළුවුනේ එකෙක් එක්ක.. අරූ ගමේ කෙල්ලෝ ඔක්කොම උස්සයි වගේ.. අර වට කරගෙන ඉන්න හැටි...

මද්දු පෙන්නූ දෙස බැලූ සුජිත් දැක්කේ නව යව්වන තරුණියෝ කීප දෙනෙක් මැද්දේ පින්කම් වැඩ මෙහෙයවමින් හිටපු හිරූශව... 16 හැවිරිදි පොඩ්ඩා තමයි පවුලේ ලස්සනම කොල්ලා.. උගෙ ඉගෙනීමේ හැකියාවත්, ක්‍රීඩා කෞශල්‍යයත් නිසා යන හැම තැනම කැපිලා පෙනුනා.. වැල්ලේ හිටපු ලස්සනම කොල්ලා කියලයි තාත්තා ඌව හැන්දිවූයේ... උඹ පරිස්සමින් ඉදපන් පොඩ්ඩා.. සුද්දෙක් දැක්කොත් උඹව අරන් යයි ඒරොප්පෙට.. තාත්තයි අයියලයි නිතරම මෙහෙම කියමින් පොඩ්ඩව කේන්ති ගැස්සුවා..

මට ඕකත් හම්බ වෙයිද දන්නේ නෑ අම්බලන්ගොඩ ස්ටේශමේදි කෙල්ලෙක් එක්ක ලව් කර කර ඉන්නවා...

අයියාගේ ඒ කථාවෙන් නම් සුරේශ් ලැජ්ජාවට පත්වෙලා ගියා.. ඔහු මොකුත්ම නොකියා තමන්ට අවැසි රුව සොයා දෙනෙත් යවන්නට වුනා... 

පින්වතුණි,

අද වෙසක් පෝය දවසේ මම අප මහා බුදුරජානන්ගේ තෙමඟුල ගැන බණ කියලා වැඩක් නෑ... අපේ එදිනේදා ජීවිතයේ දී අපි නොහිතන බොහොම සුළු දේවල් නිසා අපේ වටේ ඉන්න ගොඩාක් අය අපහසුතාවයට පත් වෙනවා.. අන්න ඒ වගේ කරුණු ගැන තමන් මීට වඩා හිතන එක තමයි පින්වතුනි වැදගත්... අපේ මේ දහම් පාසලේ එක එක ජාතියේ, එක එක තරාතිරමේ, එක එක වයස්වල, දරුවෝ ඉන්නවා... ඔය ගඟේ බැම්මෙන් බැහැලා විහාරස්ථානයට ගොඩ වෙද්දි ඒ එක එක දේවල් ගඟටම දාල එන්න කියලා තමයි මම කියලා තියෙන්නේ... ඉතින් පිංවතුනි ඒ එක එක ළමයි එක් අයෙක් වෙලා කරපු වෙසක් පිංකම් මාලාව කොච්චර ලස්සනද කියලා බලන්න.. මේ දහම් පාසලෙන් ගන්න ආදර්ශය... ගමේ අපිත් එක පවුලක්..එහෙමයි වැඩ කරන්න ඕන... මටයි ලොකු හාමුඳුරුවන්ටයි රණ්ඩු බේරලා ඉවරයක් නෑ.. ඉතින් පිංවතුනි මේ පිංබර වෙසක් දවසේ අපි හිතා ගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි.. අපි ඇතිකරගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි...

පණ්ඩිත හාමුදුරුවන්ගේ බණ අහගෙන හිටපු ස්වර්ණාට අනේ අපිනම් එහෙම නෑ හාමුදුරුවනේ කියලා හිතුනා... හිරූශ එන්න කොහොමත් රෑ වෙන නිසා දෙන්න දෙමහල්ලෝ යන්න පිටත් වුනා.. ලොක්ක සුජිත්, මල්ලිව හෙව්වේ අම්මලා එක්කම ගෙදර යන්න. ප්‍රේමසිරි මුදලාලියි, බිරිඳයි, නිරාශායි, එක්ක ලොකු කතාවකට වැටිලා හිටිය සුරේශ් දැක්ක ලොකු අයියගේ මුවට සිනාවක් නැගුනේ නිරායාසයෙන්.. 

මූ නම් ලකුණු දාගන්න දෙයියා....

මෙහෙම හිතමින්ම සුජිත් අම්මයි තාත්තයි එක්ක පල්ලම් බැස්සේ ගෙදර යන්න... 


පංසලේ ඉඳන් ගෙදර එන හැමෝගෙම හිත් නිවිලා පහන් වෙලා... එදා රෑ නිදි ඇඳට යනකොටත් ස්වර්ණාගේ ඔලුවේ තිබ්බේ පොඩි බරක්.. නිඳි ඇඳට ඉතින් වෙසක් පෝය කියලා නෑ ගුණපාලට... අළුත බැන්ද වගේ වගේ ගුණපාලගේ දිග ඇරපු වම් අත උඩ හිස තියාගෙනම ස්වර්ණා දොඩමළු වුනා...

මහත්තයෝ..

මොකො....?

පොඩි එකාත් මොනා හරි එකක පැටලෙයිද? අර පංසලේ කෙල්ලෝ වට කරගෙන මට නිකන් බයේ බෑ කියලා හිතුනා අප්පේ...

දැන් උට වයස කීයද?

16යිනේ.. මේ දෙසැම්බරේ විභාගෙත් ලියනවා නොවැ..

උඹ මාත් එක්ක ආවේ කීයෙදිද සුවර්ණෝ...?

16දිනේ...

එහෙනම් ඉතින් මඟුලක් දොඩෝනවද බොලාලා...

ඔය කිව්වේ ඉතින්.. ස්වර්නා නොරුස්නා මුහුණ ගුණපාලගේ පපුවේ ඔබා ගත්තා...

පිංතූරය මෙතනින්...                                                        මතු සම්භන්ධයි..


Wednesday, August 29, 2012

රුදු රළ පෙළ මත දිවි.. 3


ස්.. ස්..

ඇයි මොකද?

පොඩ්ඩක් මෙහෙ බලන්නකෝ.....

ඒ මොකටද?

අපෝ මෙයාගෙ තියෙන ගණං.., 

ඔව්....

මම යනවා යන්න...

ඉතින්.....

නපුරා.....

නපුරු නෑ සුදා....

වැඩක් නෑ.. හැමදාම මාව තරහ ගස්සලා අන්තිමට එනවා සුදා කියාගෙන...

ඉතින් සුදාට සුදා නොකිය වෙන මොනා කියන්නද?

ඔය කට තියෙනකන් දිනාවි... ඉතින් සුරේශ්.. ඊයේ අයියා දැකලා මොකද වුනේ.. මට නින්ද ගියෙත් නෑ අප්පා...

ලොකු අයියා දැකලා තිබ්බා නිරූ... ගෙදර ඊයේ රෑ මළ ගෙයක් වගේ... අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු එක රැයින් බිඳ වැටුනා වගේ එයාලා හිතන්නේ... අපි දෙන්න යාළු වෙන්න ඉස්සෙල්ල මම ඔයාට කියපු දේවල්ම, මුළු පවුලේ ඔක්කොම එකතු වෙලා මට කිව්ව නිරූ... පව් ඒ මිනිස්සු... සුරේශ් නිරාශා දිහාට හැරුනේ හදවතේ බරටම පිරවුන සුසුම, නාසයෙනුයි කටිනුයි දෙකෙන්ම එලියට දමන ගමන්... මුහුණේ තිබුණ බැරෑරුම්කම වටහාගන්න නිරාශාට මොහොතක්වත් ගත වුනේ නෑ.. 

ඔහොම ඉන්න එපා සුරේශ්... මම හින්දා ඔයාට කරදර නේද..?

කරදරයක් නෑ නිරූ... මේ කරදරවලට මම ආසයි... ඒත් මේ ආදරේ නිසා අපේ ගෙදර මිනිස්සුන්ගේ ජීවිත අසරණ වුණොත් මට ඒ පව ගෙවන්න හිත හදාගන්න පුළුවන් වෙන එකක් නෑ..

අපේ තාත්තා නපුරුයි තමයි.. අපි මොකද කරන්නේ සුරේශ්...

ඉස්සරහට වෙන දෙයක් බලමු නිරූ... කොහොමත් අපි ටිකක් ප්‍රසිද්ධියේ හැසිරෙන එක නවත්තමු... ඔක්කොටම කලින් මේ විභාග මඟුල ගොඩ දාමු...

මෙච්චර දේවල් ඔලුවේ තියාගෙන කොහොම පාඩම් කරන්නද මන්දා සුරේශ්...

ලමයෝ... අපි දෙන්නගෙ ජීවිතේ, මේ ආදරේ නෙවෙයි... අපි ඉහලට යන තරමට තමයි අපිට දිනන්න පහසු වෙන්නේ.. ඒ නිසා මේවා ගැන හිතන්නේ නැතුව පාඩම් කරන්න.. අපේ ගැලවීම තියෙන්නේ එතන කියලා හිතන්න.. බැරි දෙයක් තියේනම් මගෙන් අහන්න... තේරුණා නේද මයෙ මැණික...

හ්ම්ම්.. යමු සුරේශ්... ඔයා නිසා තමයි මම මෙහෙමවත් පාඩම් කරන්නේ.. අපේ තාත්තා මට කියන්නේ ගොන් කරත්තේ කියලා...

නියම නම.. ගොන් කරත්තේ...

ඒ පාර ඔයත් පටන් ගත්තද? අපි අද බස් එකේ යමුද?

ඔයා බස් එකේ යන්න.. මම කෝච්චියේ යන්නම්.. කොහොමත් විභාගෙ ඉවර වෙනකම් අපි ටිකක් පරිස්සමින් ඉඳිමු...

එහෙනම් මම බස් එකේ යනවා.. මම ආදරෙයි සුරේශ්.. තිශාලා ඉන්නවා ස්ටෑන්ඩ් එකේ.. මම එයාලත් එක්ක යන්නම්.. බුදු සරණයි සුරේශ්... පරිස්සමින් යන්න...

බුදු සරණයි මගෙ මැණික.. මම යනවා ස්ටේශන් එකට.. පරිස්සමින් යන්න ගොන් කරත්තේ...

අහුවෙන්නකො හෙට උදේ.... මම පෙන්නන්න ගොන් කරත්තේ තරම.... මුවට නැගුන මඳහස අතරින් එහෙම කියනකොටත් සුරේශ් දුම්රියපල දෙසට සෑහෙන දුර ගිහින්... සුරේශ්ගේ තියෙන සරල සැහැල්ලුකමටයි, කටකාර දඟකාරකමටයි, වෙන පිරිමි ළමයි ලඟ නැති නිරහංකාර ගති පැවතුම්වලටයි, නිරාශා අසීමිතව ආදරය කලා... 


අඩෝ ආවද කරත්තේ දක්කලා... කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි.. වරෙන් යන්න ප්ලේන්ටියක් ගහන්න..

අතේ පිච්චිය නෑ බන්.... සීසන් එක විතරයි තියෙන්නේ....

කවුද බන් සල්ලි ඉල්ලුවේ... සිගරට් එකකුත් අදිමුද?

මම නැවැත්තුවා බන්.. ආයෙ බොන්නෙ නෑ සිගරට්....

අනේ පලයන්.. ඌරෝ ගූ කන එකත් නවත්තයි බොලා බට නැවැත්තුවොත්...

යමන් යමන්.. තොපිත් එක්ක පුළුවන්ද මිනිහෙක්ට හැඳෙන්න...

අජියා.. දාහන් ප්ලේන්ටි දෙකයි ගෝල්ලීප් දෙකයි...

සිකරට් ඉවරයි මහත්තයා....

*කලා තියෙන්නේ.. ඔය බලපන්කෝ.. අපේ අතේ සල්ලි තියෙන දවසට තමයි ඒවත් ඉවර වෙන්නේ.. ගෙනෙන් බන් එහෙනම් ප්ලේන්ටී දෙකවත්....

අල්ලපු මේසේ හිටපු අන්කල්ගේ තේ එකත් ඉස්පොල්ලෙ යනවා තව පොඩ්ඩෙන්....

හෙමින් කෑ ගහපන් බන්...

හෙමින් කොහොමද *ත්තො කෑ ගහන්නේ....

මුන්ට කියන කට හඳයි රේල් පීල්ලක උලා ගන්නවා.. සුරේශ් තනියම හිතාගෙන ප්ලේන්ටිය තොල ගාන්න පටන් ගත්තා....

මචන් සුරේශයා...

ඇයි?

මොකක්ද අවුල...?

අවුලක් නෑ බන්....

බොරු කියන්න එපා බන්.. මට උඹව කියවන්න පුළුවන් කියලා උඹ දන්නවනේ..

පොඩි ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඊයේ නිරූයි මමයි ස්ටේෂන් එකේ බංකුවට වෙලා ඉද්දි ලොක්කා දැකලා බන්..

අප්පට සිරි... ඉතින්...

ගෙදර ගිණි අරන්... ඒ මිනිස්සු දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නෑ කියලා.. ඒත් නිරූලාගේ තාත්තාගේ හැටි දන්නවනේ බන්...

ප්‍රේමසිරියා නම් හෙන *රියා බන්... විකල්පෙකුත් නෑනේ මචන්... අපි ඔය ගැන කතා කරන පළවෙනි දවස නෙවෙයිනේ බන්... උඹලගේ අයියා දැක්ක නිසා කතාව ආයෙත් අළුත් වුනා...

ඔව්.. යමන්...

තිසල් සහ සුරේශ් දෙන්නම එකම ගමේ.. පොඩි කාලේ ගමේ ඉස්කෝලෙත් දැන් අම්බලන්ගොඩත් එකම පන්තියේ ඉන්නේ.. ඒ නිසාම දෙන්නගේ හැඟීම් දෙන්නට දෙන්න හොඳින් දන්නවා... සාමාන්‍ය පෙළ සමත් වෙච්ච දෙන්නටම තිබ්බේ එකම හීනයක්.. ඒ උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා නීති පීඨයට ඇතුල් වෙන එක... කෝච්චියේ ඩක ඩකස් සද්දෙ මැද්දේ තිසල් ආයෙත් කතාව අරඹන්න වුනා..

මම කීවා උඹට මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකට බහින්න එපා කියලා....

කවුද බන් බැස්සේ... හිතල බැස්සද? දන්නෙම නැතිව වැටිලනේ බන්...

එක්සෑම් ඇනගන්න එපා බන්... උඹ දන්නවනේ.. අපි දෙන්නා එකම දවසේ දිවුරුම් දෙන්න ඕන...

මම දන්නවා බන්... මට තියෙන එකම අවස්තාව ඔතන කියලා.. අපි තුන්දෙනාගෙම හීනේ වෙරළින් මිදෙන්නෙ කොහොමද කියලා.. අම්මා ටිකක් හරි දැනුම් තේරුම් තියෙන හින්ද, පොඩි කාලේ ඉඳම්ම අපිට පාර කිව්වා.. ලොක්කත් හෙන මීටරේ බන්.. ඌ ඉස්කෝලේ යන්නේ නැතුව ටෝලරේ නැග්ගේ මාවයි පොඩ්ඩවයි ගොඩ දාන්න...

දැන් නිරාශා මොකද කියන්නේ....

ඒකම තමයි බන් හිතේ නිදහස.. වෙන කෙල්ලෝ වගේ අරහෙ මෙහෙ යන්න, අරව මේවා ඕන, ඒ මොකුත් කතාවක් නෑ.. වෙනද තිබ්බ යාළුකමට ආදරේ මික්ස් වෙලා තියෙනවා.. ඒ හින්දා අවුලක් නෑ.. කියන දේත් තේරුම් ගන්නවා බන්. වෙන උන් වගේ කන්දොස්කිරියාවක් නෑ...

ඒකත් ලොකු දෙයක්නේ... මට මල්ලිකාගෙන් ඇති වුනා ලවු කරන එකනම්.. ඇඟ හිරි වැටෙනවා මතක් වෙනකොටත්...

මට මතකයි... ඒකි උඹව ඇඳලා අරන් කිස් කරන හැටි ඒ කාලේ...

අනේ පලයන් *කෝ යන්න.. තෝත් ඉතින් මටම හිනාවෙයන් පරයා...

තිසල් එක්ක ගෙවුණු කාලය නිසා සුරේශ් සැහැල්ලු සිතින් ගෙදර ආවා.. ඒ වෙනකොටත් තාත්තා මුහුදු ගිහින්.. අම්මා කුස්සියේ මොනවද උයනවා.. අම්මා වැඩ ඇරිලා ඇවිත් තාත්තට බත් ගෙනියන්න උයන එකේ තමන්ගේ පංගුව මැටි කෝප්පෙට බෙදාගෙන සුරේශ් පිලේ වාඩි වුනේ මුහුද දිහාව බලාගෙන...

ඉපදිච්ච දවසේ ඉඳලා හැමදාම දැකලාත්, මේක එපා වෙන්නේ නැති හැටි... අපේ ජීවිතත් හරියට මේ මුහුදු රැල වගෙයි.. මුහුද ගැන හිතද්දි සුපුරුදු පරිදිම මුහුද ගැන ස්නේහයක් හිත අස්සෙන් ඉපදිලා හීනි සිනාවක් විදිහට තොල් අග්ගිස්සෙන් පිට වුනා සුරේශ්ටම දැනුනා... 

පින්තූරය 1 මෙතනින්...                                                  මතු සම්භන්ධයි.. 


Tuesday, August 28, 2012

රුදු රළ පෙළ මත දිවි.. 2


දහසක් වැඩ රාජකාරි මැද්දෙත් ස්වර්ණා ගේ හිත යොමුවෙලා තිබ්බේ මද්දුමයගේ පෙම් පලහිලව්ව ගැන.. ඒකා විභාගෙන් පාස් වෙච්ච දවසෙ තිබ්බ සතුට නිකන්ම හේදිලා ගිහින් වගේ... විභාගේ පාස් වුනේ නැත්නම් මූ යනවද ලොකු ඉස්කෝලෙට.. ස්වර්ණාගේ හිතට දැනුනේ එහෙමයි... ඒ සිතිවිල්ලත් එක්ක ස්වර්ණාගේ හිත අතීතෙට යන්න පටන් ගත්තා...

අවුරුදු 16දි ගුණපාල දැක්කම හිතේ ඇතිවුන හැඟීම ආදරයක්ද කියන එක ඇයට තාමත් හිතාගන්න බෑ.. දැන හඳුනාගෙන දවස් දෙකක් යද්දි, මහ රෑ ගුණපාලත් එක්ක උගේ පැලට ආවේ කසාදයකට තිබිච්ච කැමැත්තටත් වඩා ඉස්කෝලෙ යන්න තිබ්බ අකමැත්ත නිසාදෝ කියලා දැන් ස්වර්ණාට හිතෙනවා... කොහොමත් ගිය හකුරට නාඩන්නේ කියලා ජීවත් වෙන්න හිත හදාගත්ත ස්වර්නා, අවුරුදු 24 වෙද්දි දරුවො තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දොස්තර මහත්තයාම කතා කරලා බඩ කැපුවේ නැත්නම්, මේ වෙද්දි ඒ පෝලිමට තව කී දෙනෙක් එකතු වෙයිද කියලා කොහොම කියන්නද කියලා හිතෙනකොට, ස්වර්ණාගෙ මුවින් හීන් සුසුමක් පිටවුනේ නිරායාසයෙන්..


මොනවා වුනත් වැල්ලේ අනිත් මිනිස්සුත් එක්ක බලද්දි ගුණපාල දාහෙන් සම්පතයි කියලා හිතෙනව ඇයට.. සතියකට කීප වතාවක් කසිප්පු හරි රා ටිකක් හරි කටේ ගා ගත්තට පරණ ගීතයක් බෙරිහන් දෙමින් ඇදෙනවා විනා, කුණුහරප සංඩු සරුවල් නොමැති එකම මදැයි කියලා ස්වර්ණාට හිතෙන වාර ගනන කොච්චරක්ද? ළමයින්ගේ අඩුපාඩු උවමනා එපාකම් ගැනත් මේ මිනිහා ඉඳලා හිටලවත් අහනවනේ කියන සිතිවිල්ලත් හම්බ කරන සේසත කසිප්පු කාරයාටයි රා කාරයාටයි පුදන්නේ නැතිව තමන් අතටත් කීයක් හරි මිට මොළවන එක ගැනත් ස්වර්නා හිටියේ ටිකක් සතුටින්.. වැල්ලේ ඉන්න අනිත් ගෑණුත් එක්ක බලද්දි තමන් යන්තමින් හරි ණය නැතුව ඔළුව උස්සගෙන ඉන්නවනේ කියන සිතිවිල්ලත් ඇයගේ හිතේ ඇති කලේ සැනසිල්ලක්.. ඒත් ඉදින් නිදි ඇදේ ගුණපාල හැසිරෙන තරුණකමනම් දැන් ඇයට වදයක් වේගෙන එන හැඩයක් තමයි තියෙන්නේ... ඒත් ඉතින් මිනිහා වෙන ගෑනු පස්සේ නොයන නිසා තමන්ම ඒකත් දෙන්න එපැයි කියලා ඇය තනියම තමන්ගේ හිත හදා ගත්තා..

කොල්ලොම තුන්දෙනෙක් ඉන්න පවුල වැල්ලේ චන්ඩි පවුලක්.. ලොකු එකා සුසන්ත එක්ක මුහුදු යන්න ගත්තට පස්සේ පොඩි ගානක් හරි අතට එන හින්දත්, මද්දුමය විභාගෙ පාස් වෙලා අම්බලන්ගොඩ ලොකු ඉස්කෝලෙකට යන හින්දත්, පොඩ්ඩ තමන්ගේ ඉගෙනීම හොදින් කරගෙන ගිහින් පන්තියේ මුල් ස්ථානයක නිතරම ඉන්න හින්දත්, දරුවෝ සම්භන්ධයෙනුත් ස්වර්ණාට ලොකු ගැටළුවක් තිබ්බේ නෑ.. ඒත් තාත්තගෙ තිබ්බ හිතුවක්කාරකම වගේම මුරණ්ඩු ගතිය පොඩි උන් දෙන්නටම ඒ වගේම පිහිටලා තිබ්බ එක ගැනනම් ස්වර්ණාගේ හිතේ ඇති කලේ බියක්.. මද්දුමයයි පොඩ්ඩයි දෙන්න ඉගෙනුමට කොච්චර දක්ශ උනත් කුකුල් කේන්ති කාරයෝ.. මුන් දෙන්නව දොස්තරෙකුට පෙන්නපන් කියලා වැලිගම නැන්දා කොච්චරවත් කීවට ඒවට කොහෙන්ද සල්ලි.. වෙන ඕන දෙයක් වෙනකම් ඉන්නව මෙ වගේම ඉස්සරහටත්, කියලා ඇය උපෙක්ෂාවෙන් හිතුවා..

මෙහෙම හොඳින් හිටපු පවුලට පාත් වෙච්ච එකම හෙණ ගෙඩිය තමයි මද්දුමයා ප්‍රේමසිරි මුදලාලිගෙ දුව නිරාශාත් එක්ක ඇති කර ගත්ත සම්භන්ධේ.. ඊයේ සුජියා අම්බලන්ගොඩ ගියපු වෙලේ දැක්කේ නැත්නම් මේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නෑනේ කියලා හිතුනා වගේම නොදැන හිටියානම් කොච්චර හොඳද කියලත් ස්වර්ණාට නොහිතුනා නෙවේ..

වැල්ලේ ලෑල්ලෙන් නිමවුන ලෑලි ගෙදරත්, එකම වත්කම වෙච්ච ගුණපාලගේ ෆයිබර් බෝට්ටුවත්, ගිනිබත් කරන්න ප්‍රේමසිරි මුදලාලිට යන්නේ ඔහොම ස්වල්ප වෙලාවක් කියන එක ස්වර්ණාට පැහැදිලියි.. ඒත් ඊයෙ මද්දුවාට කියපු කථා අවවාද ඔක්කොම ගඟට කපපු ඉනි වගේ ගහගෙන ගියපු හැටි සිහියට එද්දි, ඇහැට නැඟුණ කඳුල චීත්ත රෙද්දෙන් පිහ දැම්මේ, හිතේ ගින්දර එහෙමම ඇවිලෙද්දි...

මොකද සුවර්නෝ අඬන්නේ...

නාලනී නෝනාගෙ සද්දෙන් පියවි සිහියට ආපු ඇයට බිල්ලට දෙන්න තිබ්බේ අතෙ තිබ්බ රතු ලූණු වට්ටිය විතරයි...

මේ ලූණු ඉස්ම ගියා නෝනා...

ස්වර්ණා නැගිට්ටේ කුස්සියට යන්නම නොවුනත් නාලනී නෝනගෙන් මඟ හැරීමේ උවමනාව ඇයට දැඩිව තිබ්බා...

කොහොමද සුවර්නෝ මද්දුවාගෙ අළුත් ඉස්කෝලේ...

හොදයිලුනෙ නෝනෙ.... දැන් අවුරුද්දකුත් ගියා නෙවැ...

අපේ නිරාශා කිව්වේ එයාගෙ පන්තියේමයි කියලා මද්දුවා... නිකන් උගන්නන එකේ හෙණේ තමයි....

අසරණකමට සාප කරපු ස්වර්ණා මුවින් නොබැන හාල් වට්ටිය අතට ගත්තා....

ඌ පන්තියෙ දෙවනියාලු නේද?

එහෙමයි නෝනේ... කොල්ලා ඉගෙනුමට දක්ෂයි නෙවැ.. ගමේ ඉස්කෝලෙ මහත්තයාත් කිව්වේ යන තැනක හොඳින් ඉදියි කියලා...

අනේ මන්දා අපේ උන්ට මෙච්චර තිබිලත් ඉගෙන ගන්න බැරිකොට උඹලගෙ එවුන් මොනා තිබිලා ඉගෙනගන්නවද කියලා...

අසරණ වීම අද ඊයෙක පුරුදු පුහුණු කරපු දෙයක් නොවෙන නිසා ස්වර්ණා නිහඬවම හාල් ටික අහුලන්න ගත්තා... 

ඒ වුනාට සුවර්නෝ.., ඔය ලොකු ඉස්කෝලවල හිත එකතැන් කරගෙන ඉන්න අමාරුයි.. ඇහැ ගහගෙන ඉඳින්. කොහෙහරි යන නැට්ටිච්චියක් කරේ එල්ලගන්න බැරි නෑ ඕකව...

ස්වර්ණාගේ හිත පිච්චිලා ගියේ නෝනා මේක දැනගෙන කියපු කතාවක්ද, නොදැන කියපු කථාවක්ද කියලා නොදන්න නිසා... පොඩ්ඩව හම්බෙන්න ගිහින් මුහුණ දුන්න වද හින්සා වලදි දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් හිත ඇතුලේ තියෙනවා වගේ ස්වර්ණාට දැනුනා...

මගේ හිතෙත් බය නැතුවා නෙවෙයි නෝනේ.. උගෙ වයසත් හොඳ නෑ නොවැ...

ස්වර්ණා නැගිට්ටේ කථාවට තිත තියාගෙනමයි... තව දිග් ගැහුනොත් මොනවැයින් මොනවා වෙයිද කියලා ඇයට නිච්චියක් නැති වුනත් එතනින් යන එක කෝකටත් හොඳයි කියලා ඇයට දැනිලා තිබුනා... රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන කියන සිතිවිල්ලෙන් ඇය පිටත් උනේ ගුණපාලට මුහුදු යන්න කලමණා ලැහැස්ති කරන සිහියෙන්..

පින්තූරය මෙතනින්...                                                 මතු සම්භන්ධයි.....

Monday, August 27, 2012

රුදු රළ පෙළ මත දිවි..


මාළු ලෑල්ල දිහාවට ඔන්න ඔහේ ඇවිදගෙන ආපු සුජියා නැවතුනේ කපුටෙකුට ගලක් ගහන්න.. උදේ පාංදර තොර තෝංචියක් නැතිව බෙරිහන් දුන්න තෙප්පම දැන් සද්දයක් නැතුවම ඉන්න හැටි දැක්කම සුජියාගේ කම්මැලිකම දෙගුන තෙගුන වෙලා ගියා... ඉස්කෝලේ ගිය මල්ලිලාත්, කුලී වැඩට ගිය අම්මාත්, රෑ තිස්සේ මුහුදු ගිහින් ඇවිත් දවල් වරුවම නිදියන තාත්තාත්, නිසා ගෙදර තිබ්බ කම්මැලිකම ඇරවාගන්න එළියට බැහැපු සුජියාට තෙප්පම දැකලා වුනේ තවත් කම්මැලිකම වැඩි වෙච්ච එක විතරයි... තෙප්පමට අල්ලපු ඇන්තනි අයියගේ ලෑලි ගෙදරින් වික්ටර් රත්නායකගේ සිංදුවක් ඇහුනා...


මූදු ගියා ලෙලි තැලුවා..
පිලී ගඳින් බෑ මිඳෙන්න...
ඒත් අපේ මල් සුවඳයි..
එපා භාර නොගෙන ඉන්න....
දලඳා හාමුදුරුවනේ.....
පාත මාලයට වඩින්න....

ගමේ පංසලේ හාමුදුරුවොත් අපි දිහා බලලා අහක බලන එකේ දලඳා හාමුදුරුවෝ බලයිද කියලා සුජියට හිතුනා...

අඩෝ.. මොකො උඹ කැරකෙන්නේ...

අජියාගේ සද්දෙන් පොඩි පණක් ආවත් කුසීතකම එලෙසම රැදිලා තිබ්බා ගතේ වගේම හිතෙත්....

නෑ බන්.. ගෙදර ඉන්න කම්මැලි... පොඩ්ඩක් වැල්ලට යන ගමන් මෙතන නැවතුනා...

අනේ රෙද්දේ කම්මැලිකම.. වරෙන් යන්න රා කට්ටක් ගහන්න... 

රෙද්දෙ රා.. මට බෑ බන්.. සුසන්ත අයියත් එක්ක මූදු යන්න තියෙනවා ටෝලරේ...

ඇයි රා ගාපුආම මූද හිදෙනවද? අනේ නිකන් වරෙන් **තො යන්න....

නෙද්දකින් කියා සිතින් මිමිනූ සුජියා අජිත් පසු පස පියවර එසව්වා...

ලුණු කැටේ එක්ක තොල ගාපු පොල් රා කට්ට හිතට පොඩි නිවනක් රැගෙන ආවා කියලා සුජියට නොහිතුනාම නෙමේ... ලාවට දැනෙන රා මතත් එක්කම පුංචි කාලේ ඉඳන් දුක සැප බෙදාගත්ත අජිත් එක්ක දොඩමළු වීම සුජියා සෑහෙන කාලෙක ඉඳන් ආස කරන දෙයක්....

මොකෝ සීන් එක.. කෝ උඹේ කංකරච්චලේ.. මොකෝ පටන් ගන්න පරක්කු....

තම සිත හොඳින්ම දන්න එකාගේ කතාවෙන් මන්දස්මිතයක් ඇදගත්ත සුජියා පොල්ගහ පාමුළ ඇන තියලා ගහට පිට දුන්නා.. අජියා තව පොල්කටු දෙකක් අරගෙන ඇවිත් එකක් මිතුරාට දික් කරන ගමන්ම පොල් ගහලඟ තණ බිස්සේ දිගාවුනා...

අජියා.., මල්ලි ප්‍රේමසිරියගේ දුවත් එක්ක යාළුවෙලා බන්....

*කනවා... අජියා කිව්ව නෙවෙයි කියවුනා...

තරුණ ගත සිත කොච්චර හැඩි දැඩි වුනත් මොන දේට එකා වගේ කඩු පොලු අරගෙන සටනට ගියත්, ප්‍රේමසිරි මුදලාලිගෙ අණ පිලි නොපදින එකෙක් වැල්ලේ හිටියේ නෑ.. එහෙව් උගේ දුවත් එක්ක සුජියගේ මලයා පැටළුන එක අජියාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනා....

ඉතින් උඹලා ඌට කිව්වේ නැද්ද ඔය මඟුල හරි යන්නේ නෑ කියලා.... ඕලෙවල් පාස් කියලා ගෑණියෙක් ගේන්නද බන්....

කිව්ව බන්...

ඉතින්..? අජියගේ කටහඬ කුතුහලෙන් පිරිල කියලා දැනුනත් සුජියා තමන්ගෙ පාඩුවේ උත්තර දුන්නා...

ඌ කියනවා උට මොනවහරි කිව්වොත් මරාගෙන මැරෙනවළු..

අනේ ඌට නටා ගන්න කියහන්... උන් මූව කෑලි කරයි බන්...

වැඩක් නෑ බන්... ඌට කියලා... ඌත් අප්පගෙම පුතා.. 

සුජියා............. සුසන්ත අයියා කට්ටිය එකතු කරනවා මූදු යන්න... පොල් ගහ මුලින් නගිට්ට සුජියා ඉතිරි රා ටිකත් කටේ හාලාගත්තා... සුසන්තයියගේ දිහාට පිය මනින ඔහුට අජියාගේ කටහඬ ඇහුනේ මූදු හුලඟ අස්සෙන්...

මම ඉශාරයාට කියන්නම් ඕක නවත්තලා දාන්න කියලා...

වැඩක් නෑ බන්... සුජිය කිව්වේ එච්චරයි....

ගෙදරට ගිය ගමන්ම ආම්පන්න රැගෙන පිටත් වෙච්ච සුජියා තනියම කල්පනා කරා තමන් ගෙදර නැති ඉදිරි සතියේ මොනවයින් මොනවා සිදු වෙයිද කියලයි... ඔන මගුලක් දෙකයි පනහයි කියලා හිතාගෙන සුජියා වරාය පැත්තට පිය මැන්නේ සුසන්ත අයියගේ කටින් කුණුහරප පිටවෙන්න කලින් ටෝලරේට නැගගන්න හිතාගෙන....

ටෝලරේ ඇතුලේ සින්දු කිව්වේ නන්දා මාලිනී...

ප්‍රේමය නම්.. රාගයෙන් තොර..
සඳ එළිය සේ අචින්ත්‍යයි.... පාරිශුද්ධයි, සුරම්‍යයි....

ආච්චිගේ රෙද්ද... කේන්තියෙන් මුමුණපු සුජී කට්ටිය එක්ක දැල් සකසන්න පටන් ගත්තා...

 පින්තූරය මෙතනින්..                                                     මතු සම්භන්ධයි...

අහේතුව....


ලෝකයේ කොනක ඉඳන්...
මේ කොණට එනකන්ම..
රවුමට කැරකිලා...
ඇති කරමින්, නැති කරමින් ඇදෙන
කාසියට....,

අපි මෙච්චරම කීකරු..

හේතුව..............................?

අහේතුව ද?

පින්තූරය මෙතැනින්..

Thursday, August 23, 2012

මේ ඇරඹුමට කාලයයි....



ජීවිතේ ගොඩාක් දේවල් හිර කරගෙන හිටපු මනුස්සයෙක් මම... ඒ අත්දැකීම් අකුරු කරන්නටත් බ්ලොග් අවකාශය තුල රැඳුන කාලීන මාතෘකා පිළිබඳව මට හිතෙන හැටි ලියන්නටත් මම මේ බ්ලොග් පිටුව කරගෙන යනවා.. එපා වුනොත් නවත්තනවා... නැත්නම් දිගටම කරගෙන යනවා.. 

කතන්දරගේ දුකාගේ අභීතගේ දුමීගේ බ්ලොග් වගේම අරුණිගේ බුවාගේ මාතලන්ගේ බ්ලොග් වලත් අවුරුදු කීපයක නිහඬ පාටකයෙක් වෙච්ච මට බ්ලොග් එකක් කරගෙන යන්න හයිය ලැබේවි කියලා තමයි හිතෙන්නේ.. බලමු ඉදිරියේදී එය කෙලෙස ඉටු වෙයිද කියලා...

එහෙමනම් කතා කරමු ගොඩාක් දේවල් ඉදිරියට....

පින්තූරය මෙතනින්...