Tuesday, August 28, 2012

රුදු රළ පෙළ මත දිවි.. 2


දහසක් වැඩ රාජකාරි මැද්දෙත් ස්වර්ණා ගේ හිත යොමුවෙලා තිබ්බේ මද්දුමයගේ පෙම් පලහිලව්ව ගැන.. ඒකා විභාගෙන් පාස් වෙච්ච දවසෙ තිබ්බ සතුට නිකන්ම හේදිලා ගිහින් වගේ... විභාගේ පාස් වුනේ නැත්නම් මූ යනවද ලොකු ඉස්කෝලෙට.. ස්වර්ණාගේ හිතට දැනුනේ එහෙමයි... ඒ සිතිවිල්ලත් එක්ක ස්වර්ණාගේ හිත අතීතෙට යන්න පටන් ගත්තා...

අවුරුදු 16දි ගුණපාල දැක්කම හිතේ ඇතිවුන හැඟීම ආදරයක්ද කියන එක ඇයට තාමත් හිතාගන්න බෑ.. දැන හඳුනාගෙන දවස් දෙකක් යද්දි, මහ රෑ ගුණපාලත් එක්ක උගේ පැලට ආවේ කසාදයකට තිබිච්ච කැමැත්තටත් වඩා ඉස්කෝලෙ යන්න තිබ්බ අකමැත්ත නිසාදෝ කියලා දැන් ස්වර්ණාට හිතෙනවා... කොහොමත් ගිය හකුරට නාඩන්නේ කියලා ජීවත් වෙන්න හිත හදාගත්ත ස්වර්නා, අවුරුදු 24 වෙද්දි දරුවො තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දොස්තර මහත්තයාම කතා කරලා බඩ කැපුවේ නැත්නම්, මේ වෙද්දි ඒ පෝලිමට තව කී දෙනෙක් එකතු වෙයිද කියලා කොහොම කියන්නද කියලා හිතෙනකොට, ස්වර්ණාගෙ මුවින් හීන් සුසුමක් පිටවුනේ නිරායාසයෙන්..


මොනවා වුනත් වැල්ලේ අනිත් මිනිස්සුත් එක්ක බලද්දි ගුණපාල දාහෙන් සම්පතයි කියලා හිතෙනව ඇයට.. සතියකට කීප වතාවක් කසිප්පු හරි රා ටිකක් හරි කටේ ගා ගත්තට පරණ ගීතයක් බෙරිහන් දෙමින් ඇදෙනවා විනා, කුණුහරප සංඩු සරුවල් නොමැති එකම මදැයි කියලා ස්වර්ණාට හිතෙන වාර ගනන කොච්චරක්ද? ළමයින්ගේ අඩුපාඩු උවමනා එපාකම් ගැනත් මේ මිනිහා ඉඳලා හිටලවත් අහනවනේ කියන සිතිවිල්ලත් හම්බ කරන සේසත කසිප්පු කාරයාටයි රා කාරයාටයි පුදන්නේ නැතිව තමන් අතටත් කීයක් හරි මිට මොළවන එක ගැනත් ස්වර්නා හිටියේ ටිකක් සතුටින්.. වැල්ලේ ඉන්න අනිත් ගෑණුත් එක්ක බලද්දි තමන් යන්තමින් හරි ණය නැතුව ඔළුව උස්සගෙන ඉන්නවනේ කියන සිතිවිල්ලත් ඇයගේ හිතේ ඇති කලේ සැනසිල්ලක්.. ඒත් ඉදින් නිදි ඇදේ ගුණපාල හැසිරෙන තරුණකමනම් දැන් ඇයට වදයක් වේගෙන එන හැඩයක් තමයි තියෙන්නේ... ඒත් ඉතින් මිනිහා වෙන ගෑනු පස්සේ නොයන නිසා තමන්ම ඒකත් දෙන්න එපැයි කියලා ඇය තනියම තමන්ගේ හිත හදා ගත්තා..

කොල්ලොම තුන්දෙනෙක් ඉන්න පවුල වැල්ලේ චන්ඩි පවුලක්.. ලොකු එකා සුසන්ත එක්ක මුහුදු යන්න ගත්තට පස්සේ පොඩි ගානක් හරි අතට එන හින්දත්, මද්දුමය විභාගෙ පාස් වෙලා අම්බලන්ගොඩ ලොකු ඉස්කෝලෙකට යන හින්දත්, පොඩ්ඩ තමන්ගේ ඉගෙනීම හොදින් කරගෙන ගිහින් පන්තියේ මුල් ස්ථානයක නිතරම ඉන්න හින්දත්, දරුවෝ සම්භන්ධයෙනුත් ස්වර්ණාට ලොකු ගැටළුවක් තිබ්බේ නෑ.. ඒත් තාත්තගෙ තිබ්බ හිතුවක්කාරකම වගේම මුරණ්ඩු ගතිය පොඩි උන් දෙන්නටම ඒ වගේම පිහිටලා තිබ්බ එක ගැනනම් ස්වර්ණාගේ හිතේ ඇති කලේ බියක්.. මද්දුමයයි පොඩ්ඩයි දෙන්න ඉගෙනුමට කොච්චර දක්ශ උනත් කුකුල් කේන්ති කාරයෝ.. මුන් දෙන්නව දොස්තරෙකුට පෙන්නපන් කියලා වැලිගම නැන්දා කොච්චරවත් කීවට ඒවට කොහෙන්ද සල්ලි.. වෙන ඕන දෙයක් වෙනකම් ඉන්නව මෙ වගේම ඉස්සරහටත්, කියලා ඇය උපෙක්ෂාවෙන් හිතුවා..

මෙහෙම හොඳින් හිටපු පවුලට පාත් වෙච්ච එකම හෙණ ගෙඩිය තමයි මද්දුමයා ප්‍රේමසිරි මුදලාලිගෙ දුව නිරාශාත් එක්ක ඇති කර ගත්ත සම්භන්ධේ.. ඊයේ සුජියා අම්බලන්ගොඩ ගියපු වෙලේ දැක්කේ නැත්නම් මේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නෑනේ කියලා හිතුනා වගේම නොදැන හිටියානම් කොච්චර හොඳද කියලත් ස්වර්ණාට නොහිතුනා නෙවේ..

වැල්ලේ ලෑල්ලෙන් නිමවුන ලෑලි ගෙදරත්, එකම වත්කම වෙච්ච ගුණපාලගේ ෆයිබර් බෝට්ටුවත්, ගිනිබත් කරන්න ප්‍රේමසිරි මුදලාලිට යන්නේ ඔහොම ස්වල්ප වෙලාවක් කියන එක ස්වර්ණාට පැහැදිලියි.. ඒත් ඊයෙ මද්දුවාට කියපු කථා අවවාද ඔක්කොම ගඟට කපපු ඉනි වගේ ගහගෙන ගියපු හැටි සිහියට එද්දි, ඇහැට නැඟුණ කඳුල චීත්ත රෙද්දෙන් පිහ දැම්මේ, හිතේ ගින්දර එහෙමම ඇවිලෙද්දි...

මොකද සුවර්නෝ අඬන්නේ...

නාලනී නෝනාගෙ සද්දෙන් පියවි සිහියට ආපු ඇයට බිල්ලට දෙන්න තිබ්බේ අතෙ තිබ්බ රතු ලූණු වට්ටිය විතරයි...

මේ ලූණු ඉස්ම ගියා නෝනා...

ස්වර්ණා නැගිට්ටේ කුස්සියට යන්නම නොවුනත් නාලනී නෝනගෙන් මඟ හැරීමේ උවමනාව ඇයට දැඩිව තිබ්බා...

කොහොමද සුවර්නෝ මද්දුවාගෙ අළුත් ඉස්කෝලේ...

හොදයිලුනෙ නෝනෙ.... දැන් අවුරුද්දකුත් ගියා නෙවැ...

අපේ නිරාශා කිව්වේ එයාගෙ පන්තියේමයි කියලා මද්දුවා... නිකන් උගන්නන එකේ හෙණේ තමයි....

අසරණකමට සාප කරපු ස්වර්ණා මුවින් නොබැන හාල් වට්ටිය අතට ගත්තා....

ඌ පන්තියෙ දෙවනියාලු නේද?

එහෙමයි නෝනේ... කොල්ලා ඉගෙනුමට දක්ෂයි නෙවැ.. ගමේ ඉස්කෝලෙ මහත්තයාත් කිව්වේ යන තැනක හොඳින් ඉදියි කියලා...

අනේ මන්දා අපේ උන්ට මෙච්චර තිබිලත් ඉගෙන ගන්න බැරිකොට උඹලගෙ එවුන් මොනා තිබිලා ඉගෙනගන්නවද කියලා...

අසරණ වීම අද ඊයෙක පුරුදු පුහුණු කරපු දෙයක් නොවෙන නිසා ස්වර්ණා නිහඬවම හාල් ටික අහුලන්න ගත්තා... 

ඒ වුනාට සුවර්නෝ.., ඔය ලොකු ඉස්කෝලවල හිත එකතැන් කරගෙන ඉන්න අමාරුයි.. ඇහැ ගහගෙන ඉඳින්. කොහෙහරි යන නැට්ටිච්චියක් කරේ එල්ලගන්න බැරි නෑ ඕකව...

ස්වර්ණාගේ හිත පිච්චිලා ගියේ නෝනා මේක දැනගෙන කියපු කතාවක්ද, නොදැන කියපු කථාවක්ද කියලා නොදන්න නිසා... පොඩ්ඩව හම්බෙන්න ගිහින් මුහුණ දුන්න වද හින්සා වලදි දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් හිත ඇතුලේ තියෙනවා වගේ ස්වර්ණාට දැනුනා...

මගේ හිතෙත් බය නැතුවා නෙවෙයි නෝනේ.. උගෙ වයසත් හොඳ නෑ නොවැ...

ස්වර්ණා නැගිට්ටේ කථාවට තිත තියාගෙනමයි... තව දිග් ගැහුනොත් මොනවැයින් මොනවා වෙයිද කියලා ඇයට නිච්චියක් නැති වුනත් එතනින් යන එක කෝකටත් හොඳයි කියලා ඇයට දැනිලා තිබුනා... රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන කියන සිතිවිල්ලෙන් ඇය පිටත් උනේ ගුණපාලට මුහුදු යන්න කලමණා ලැහැස්ති කරන සිහියෙන්..

පින්තූරය මෙතනින්...                                                 මතු සම්භන්ධයි.....

12 comments:

  1. ලස්සනට ලියලා........ දිගටම ලියමු.මම එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔය මගෙ අඩවියට ගොඩ වීම සතුටක්...

      Delete
  2. ආ.. ලස්සන කතාව පළවෙනි එකත් කියෙවුවා.

    ReplyDelete
  3. නියමයි... කථාව මැවිලා පේනවා...

    ReplyDelete
  4. අගෙයි මල්ලි ... කතාව ලස්සනට ගලාගෙන යනවා...

    ReplyDelete
  5. කියෙව්වෙමි :)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නියමෙට ලියලා තියනවා. මමත් එනවා දිගටම කියවන්න.. ජය වේවා!!

      ක්සැන්ඩර් | Xander

      Delete
  7. .. කතාව නියමයි.. මන් කොහොමහරි අවසානේ කියවන්න ආපු එක ගැන සතුටුයි.. ජය වේවා.. :D

    p.s අයියේ "සම්භන්ධේ" වචනේ වැරදි.. සම්බන්ධය වෙන්න ඕනේ ඒක

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....