Monday, August 27, 2012

රුදු රළ පෙළ මත දිවි..


මාළු ලෑල්ල දිහාවට ඔන්න ඔහේ ඇවිදගෙන ආපු සුජියා නැවතුනේ කපුටෙකුට ගලක් ගහන්න.. උදේ පාංදර තොර තෝංචියක් නැතිව බෙරිහන් දුන්න තෙප්පම දැන් සද්දයක් නැතුවම ඉන්න හැටි දැක්කම සුජියාගේ කම්මැලිකම දෙගුන තෙගුන වෙලා ගියා... ඉස්කෝලේ ගිය මල්ලිලාත්, කුලී වැඩට ගිය අම්මාත්, රෑ තිස්සේ මුහුදු ගිහින් ඇවිත් දවල් වරුවම නිදියන තාත්තාත්, නිසා ගෙදර තිබ්බ කම්මැලිකම ඇරවාගන්න එළියට බැහැපු සුජියාට තෙප්පම දැකලා වුනේ තවත් කම්මැලිකම වැඩි වෙච්ච එක විතරයි... තෙප්පමට අල්ලපු ඇන්තනි අයියගේ ලෑලි ගෙදරින් වික්ටර් රත්නායකගේ සිංදුවක් ඇහුනා...


මූදු ගියා ලෙලි තැලුවා..
පිලී ගඳින් බෑ මිඳෙන්න...
ඒත් අපේ මල් සුවඳයි..
එපා භාර නොගෙන ඉන්න....
දලඳා හාමුදුරුවනේ.....
පාත මාලයට වඩින්න....

ගමේ පංසලේ හාමුදුරුවොත් අපි දිහා බලලා අහක බලන එකේ දලඳා හාමුදුරුවෝ බලයිද කියලා සුජියට හිතුනා...

අඩෝ.. මොකො උඹ කැරකෙන්නේ...

අජියාගේ සද්දෙන් පොඩි පණක් ආවත් කුසීතකම එලෙසම රැදිලා තිබ්බා ගතේ වගේම හිතෙත්....

නෑ බන්.. ගෙදර ඉන්න කම්මැලි... පොඩ්ඩක් වැල්ලට යන ගමන් මෙතන නැවතුනා...

අනේ රෙද්දේ කම්මැලිකම.. වරෙන් යන්න රා කට්ටක් ගහන්න... 

රෙද්දෙ රා.. මට බෑ බන්.. සුසන්ත අයියත් එක්ක මූදු යන්න තියෙනවා ටෝලරේ...

ඇයි රා ගාපුආම මූද හිදෙනවද? අනේ නිකන් වරෙන් **තො යන්න....

නෙද්දකින් කියා සිතින් මිමිනූ සුජියා අජිත් පසු පස පියවර එසව්වා...

ලුණු කැටේ එක්ක තොල ගාපු පොල් රා කට්ට හිතට පොඩි නිවනක් රැගෙන ආවා කියලා සුජියට නොහිතුනාම නෙමේ... ලාවට දැනෙන රා මතත් එක්කම පුංචි කාලේ ඉඳන් දුක සැප බෙදාගත්ත අජිත් එක්ක දොඩමළු වීම සුජියා සෑහෙන කාලෙක ඉඳන් ආස කරන දෙයක්....

මොකෝ සීන් එක.. කෝ උඹේ කංකරච්චලේ.. මොකෝ පටන් ගන්න පරක්කු....

තම සිත හොඳින්ම දන්න එකාගේ කතාවෙන් මන්දස්මිතයක් ඇදගත්ත සුජියා පොල්ගහ පාමුළ ඇන තියලා ගහට පිට දුන්නා.. අජියා තව පොල්කටු දෙකක් අරගෙන ඇවිත් එකක් මිතුරාට දික් කරන ගමන්ම පොල් ගහලඟ තණ බිස්සේ දිගාවුනා...

අජියා.., මල්ලි ප්‍රේමසිරියගේ දුවත් එක්ක යාළුවෙලා බන්....

*කනවා... අජියා කිව්ව නෙවෙයි කියවුනා...

තරුණ ගත සිත කොච්චර හැඩි දැඩි වුනත් මොන දේට එකා වගේ කඩු පොලු අරගෙන සටනට ගියත්, ප්‍රේමසිරි මුදලාලිගෙ අණ පිලි නොපදින එකෙක් වැල්ලේ හිටියේ නෑ.. එහෙව් උගේ දුවත් එක්ක සුජියගේ මලයා පැටළුන එක අජියාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනා....

ඉතින් උඹලා ඌට කිව්වේ නැද්ද ඔය මඟුල හරි යන්නේ නෑ කියලා.... ඕලෙවල් පාස් කියලා ගෑණියෙක් ගේන්නද බන්....

කිව්ව බන්...

ඉතින්..? අජියගේ කටහඬ කුතුහලෙන් පිරිල කියලා දැනුනත් සුජියා තමන්ගෙ පාඩුවේ උත්තර දුන්නා...

ඌ කියනවා උට මොනවහරි කිව්වොත් මරාගෙන මැරෙනවළු..

අනේ ඌට නටා ගන්න කියහන්... උන් මූව කෑලි කරයි බන්...

වැඩක් නෑ බන්... ඌට කියලා... ඌත් අප්පගෙම පුතා.. 

සුජියා............. සුසන්ත අයියා කට්ටිය එකතු කරනවා මූදු යන්න... පොල් ගහ මුලින් නගිට්ට සුජියා ඉතිරි රා ටිකත් කටේ හාලාගත්තා... සුසන්තයියගේ දිහාට පිය මනින ඔහුට අජියාගේ කටහඬ ඇහුනේ මූදු හුලඟ අස්සෙන්...

මම ඉශාරයාට කියන්නම් ඕක නවත්තලා දාන්න කියලා...

වැඩක් නෑ බන්... සුජිය කිව්වේ එච්චරයි....

ගෙදරට ගිය ගමන්ම ආම්පන්න රැගෙන පිටත් වෙච්ච සුජියා තනියම කල්පනා කරා තමන් ගෙදර නැති ඉදිරි සතියේ මොනවයින් මොනවා සිදු වෙයිද කියලයි... ඔන මගුලක් දෙකයි පනහයි කියලා හිතාගෙන සුජියා වරාය පැත්තට පිය මැන්නේ සුසන්ත අයියගේ කටින් කුණුහරප පිටවෙන්න කලින් ටෝලරේට නැගගන්න හිතාගෙන....

ටෝලරේ ඇතුලේ සින්දු කිව්වේ නන්දා මාලිනී...

ප්‍රේමය නම්.. රාගයෙන් තොර..
සඳ එළිය සේ අචින්ත්‍යයි.... පාරිශුද්ධයි, සුරම්‍යයි....

ආච්චිගේ රෙද්ද... කේන්තියෙන් මුමුණපු සුජී කට්ටිය එක්ක දැල් සකසන්න පටන් ගත්තා...

 පින්තූරය මෙතනින්..                                                     මතු සම්භන්ධයි...

9 comments:

  1. මේ කතාවෙන් මට මතක් වුණේ බත්තලංගුණ්ඩුව කතාව.... ලියවිල්ල සුපිරියි, ඉදිරි කොටසුත් කියවන්න බලාගෙන ඉන්නේ...

    ReplyDelete
  2. Replies
    1. මේ බ්ලොග් එක සින්ඩිවලට දාලා නැද්ද ??

      Delete
  3. මේක මරුනේ.... හොද ප්‍රවිශ්ඨයක් වගේ....

    ReplyDelete
  4. තව කබ්බෙක්.. ජයවේවා සහෝදරය... ලිවීමේ හැකියාව අපූරුයි!

    ReplyDelete
  5. අඩේ අප්පා සිරා කතාවනේ... මමත් අද ඉඳන් දිගටම එනෝ..
    ඉක්මනටම අනිත් ටිකත් දන්නෝ
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  6. තවත් සුපිරි කතාවක ඇරබුම ..

    ReplyDelete
  7. සරලයි ගැඹුරුයි... ලියමු දිගටම. බලන්න එන්නං.

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....