Saturday, September 1, 2012

රුදු රළ පෙළ මත දිවි.. 5


දෑතට වාරු අරගෙන මුහුදු රළ මතින් අමාරුවෙන් ඔරුව පදින ගුණපාලගේ හිතේ සිතිවිලි සරන්නට වුනා.. තම දුබල දෑතින් හබල අරන් ගොඩබිම පෙනෙන මානයේ ලංතෑරුමක් එල්ලගෙන මාළු අල්ලන්න පටන් අරන් දැන් අවුරුදු තිහකටත් වඩා වැඩියි කියලා ගුණපාලට හිතුනා.. මගේ ඔරුකඳ ඇතුලට වෙලා අවසන් හුස්ම හෙලපු මසුන්ගේ පිහිටෙන්, කීදෙනෙකුගේ ජීවිත රැකුනද කියන එකත් ඔහුගේ සිහියට ආවා...

පීනසේ වැඩිවෙලා ඇඳටම සවිවුණ තාත්තා, ඔහුගේ සේවයට සරි වෙලා හිටපු අම්මා, අදටත් ආගිය තැනක් නොදන්න මල්ලි, තමන්ගේ හොඳම යහලුවාත් එක්ක වහන් වෙලා ගියපු ලොකු නංගි, දෙමවුපියෝ සහෝදර සහෝදරියෝ නෑ කියලා හිතාගෙන ඒරොප්පෙට වෙලා සැප විඳින පොඩි නංගි, මේ හැමෝමත්, අවුරුදු 16දි තමංව විශ්වාස කරලා තමන් එක්ක ආපු සුවර්ණා, දරුවෝ තුන්දෙනා මේ ඔක්කොම මේ ඔරුවෙන් ජීවත් වුන ප්‍රාණියෝ කියලා හිතුනම පරම්පරා දෙකක් සවි කරපු ඔරුව ගැන භක්තියකුත් තමන් ගැන ආඩම්භරයකුත් ඔහුට දැනුනා... ඒ එක්කම වසර ගණනාවකට කළියෙන් තමන්ව අත හැරලා දාලා ගිය ජීවිත ගැන මතකය අළුත් වුනත්, ඔවුන් වෙනුවෙන් කඳුලක් ඇසට එන්නට තරම් ගුණපාලගේ හිත සංවේදී එකක් වුනේ නෑ...

වැල්ලේ ලෑලි ගේක ගෙවන ජීවිතය ඔහුට පුරුදු වෙලා තිබුනේ.. එහි වෙසෙන වෙනත් පවුල් වගේ මාළු අහුවෙන කාලෙට රටේ නැති බඩු ගෙදර පුරවන්නයි වාරකන් කාලෙට ඒවා එකින් එක විකුනන්නයි අවශ්‍ය නැති වුනේ හිතුවක්කාරෙට උනත් තමන් එක්ක දීග ආපු ස්වර්ණාගේ මුදල් පරිහරණය නිසා.. ඒ ඉතිරියත් කාබාසිනියා කලොත් කරන්නේ තමන්ම කසිප්පු මුදලාලිට දීලා කියලා ගුණපාලට නොහිතුනාම නෙවෙයි.. "කසිප්පු උගුරක් නැති බීඩියක් නැති ජීවිතේ මොකටද මාළු කාරයෙකුට.." ස්වර්ණාගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න ගුණපාල උත්තරේ හදාගත්තේ ඒ විදිහට... යස ඉසුරු බෝමයක් නැතත් ණය නැති ජීවිතේ ඔළුවට හරිම නිදහසක් කියලා හිතුනට ගුණපාල මුදල් ගැන කල්පනා නොකරන්නෙම තමන්ට වඩා හොඳට ස්වර්ණා ඒ ටික කරන හින්දා... අවුරුදු 46ක් වෙලත් තාම නාඹර ගැටිස්සියක් වගේ පෙනෙන ස්වර්ණා, අවුරුදු 52ක් වෙච්ච හබලට වැහැරිච්ච ගුණපාලත් එක්ක ජෝඩු දාලා යනකොට, ගුණපාල සීරුවෙන් ඇවිදිනවා කියලයි කොල්ලො තුන් දෙනා විහිලු කරන්නේ... 

ගුණෙයෝ... මොකද බන් දැලට හිනා වෙන්නේ...

අමරේ එහා ඔරුවේ ඉඳගෙන අහනකොටනම් ගුණපාලට ටිකක් චකිතයක් දැනුනා... ලැන්තෑරුම් එළියෙනුත් මූ බලාගෙන ඉන්නේ මගේ දැලට අහුවෙන මාළු ගැන... ගුණපාල තමන්ට කොඳුර ගත්තේ අමරපාලට ඇහෙයි කියන පරිස්සම නිසයි...

                                           ********


සුජියා තාම ආවේ නෑ... ගාමිණීගේ කඩේට වෙනදා කෝල් එකක්වත් දෙනවා පරක්කු නම්... ලඟක නැතුව ඇති.. නවසීලන්තේ කිට්ටුවට යනවා කියලා කථාවක් කිව්වට අපිට ඕවයේ දැනුම් තේරුම් තියෙන එකක්යැ.. පාන්දර නැගිටලා ලිප මොළවන ස්වර්ණාගේ හිතේ දාහක් දේවල්.. 

මද්දුවෝ.. වැල්ලට පලයන්, තාත්තා එනවා ඇති... 

ම්ම්....

කීවාම අහලා පලයන්කෝ පුතේ.. පොඩ්ඩෝ නැගිටලා පාඩම් කරහන්... 

මද්දු දඩි බිඩියේ නැගිට්ටේ පරක්කු වුනොත් තාත්තගේ කටින් පිටවෙන නොසරුප් වඳන් අහන්න ඇති අකමැත්ත නිසයි.. දත් මදින කුඩු පැකට් එකෙන් ටිකක් අල්ලට දාගත්ත මද්දු බුරුසුවත් ඒකේ අතුල්ලගෙනම පිටවුනේ කුස්සියේ පිටිපස්සේ වතුර කලෙන්ම මූණ හෝදන්න හිතාගෙන...

පසුගිය අගෝස්තු මස පැවැත්වුන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අද පිටවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි...

අම්මේ...

මොකෝ... 

ඇහුනද රේඩියෝ එකේ කියපු එක...

නෑ බන්.. මට ඇහුනේ නෑ...

අපේ ප්‍රථිපල එනවා කියන්නේ... 

ඕක එද්දි දවල් වෙයිනේ බන්.. දැන් ඉක්කනට වැල්ලට පලයන් අර නාකි මනුස්සයා කේන්ති ගස්සන්නේ නැතුව...

ප්‍රතිපල එන එකේ බරපතලකම දෙමවුපියන්ට එච්චර වැටහෙන්නේ නැති එක ගැනත් මද්දු සතුටු වුනා.. වෙරළට පිය මනින අතරේ දාහක් දේවල් කල්පනාවට ආවා.. ලියපු එකනම් හොඳට ලීවා.. සිංහල වලටයි ලොජික් වලටයිනම් ඒ එකක් ඒවි.. පොලිටිකල් තමයි ප්‍රශ්ණේ... බී එකක් ආවත් ඇති වෙයි.. සමස්ත ලංකා ජයග්‍රහනයක් තියෙන නිසා මොනව හරි කරගන්න බැරි වෙන එකක් නෑ... ඒත් කුමන හෝ හේතුවක් නිසා අසාර්ථක ප්‍රතිපලයක් ආවොත් කියන බය සුරේශ්ගේ හිතේ කොණක තිබ්බා.. එහෙම වුනොත් තමන්ට ඊලඟ අවුරුද්දෙත් විභාගෙට මුහුණ දෙන්න පුළුවන් උණත්, ලබන සතියේ සාමාන්‍ය පෙළ ලියන පොඩ්ඩාට කොහොම බලපාවිද කියලා සුරේශ්ට හිතුනා... ඊටත් නිරූව ලඳු ගානේ, මුළු ගානේ, හම්බෙලා එපා වෙලා තිබ්බේ.. හරියකට කතා කරන්නෙත් පංසලේදි විතරයි.. ඒකත් ප්‍රේමසිරියයි ගෑණියි ඉන්න තැන.. ප්‍රතිපලේ කොහොම වෙතත් නිරූවවත් හම්බ වෙන්න පුළුවන්නේ කියලා සුරේශ්ට හිතුනට ප්‍රතිපල ගැන ලොකු බලාපොරොත්තුවක් ඔහුගේ හිත ඇතුලේ තිබුනා...

වරෙන්කෝ අඩිය ඉක්මන් කරලා.. මෙතන ලමිස්සියෝ වගේ පද්දා පද්දා එන්නේ....

තාත්තාට සුපුරුදු විදිහට තරහ ගිහින් වග දැනගත්ත සුරේශ් වහාම කතාවේ මාතෘකාව වෙනස් කලා...

තාත්තේ, අද අපේ ප්‍රතිපල එනව කියලා රේඩියෝ එකේ කිව්වා...

මොන ප්‍රථිපලද බන්..?

ඇයි ඒ ලෙවල්..

උඹ කරායැ එහෙම විභාගයක්....

ඇයි අගෝස්තුවේ කලේ.. උසස් පෙළ...

අහ්.. එහෙම එකක් කළාද? උඹලගේ අම්මා කීවා තමයි උඹ මොකක් හරි එහෙම එකක් කලා කියලා.. මට ඕවගේ නිච්චියක් තියෙනවයේ බන්.. මෙන්න මේ ඔරුව ඇදහන් ගොඩට..

තවත් කියන එකේ තේරුමක් නැති නිසා සුරේශ් තාත්තත් එක්ක එකතු වෙලා ඔරුව ගොඩට ඇඳලා මාළු ටික දැලෙන් ගලවන්න තාත්තට උදව් කලා... මාළු කූඩේ අරගෙන තාත්තව තෙප්පමට පිටත් කරපු සුරේශ්, තාත්තගේ ආම්පන්න ටිකත් අරන් ගෙදරට ආවේ පිලී ගඳ යන්න නාලා පාසැල් යන්න හිතාගෙන... 

                                    **********


නැන්දේ.....

ආ.. දුවේ.... නිරාශාගේ කටහඬ දැන් සුවර්ණාට අමුතු දෙයක් නෙවෙයි... ප්‍රේමසිරි මුදලාලිගේ ගෙදරදි සුවර්ණාට නම කියලා කතා කරන නිරාශා තමන්ගේ ගෙදරදි නැන්දේ කියලා කතා කරනවා... ප්‍රේමසිරි මුදලාලිගේ ගෙදරදි බේබි කියලා කතා කරන ස්වර්ණා තමන්ගේ ගෙදරදි දුවේ කියලා කතා කරනවා... අහල පහලට දෑස් යැව්වේ මොකෙක්වත් ඉන්නවද බලන්න.. ඔය ටික ඇහුනනම් ඇති උන්ට ප්‍රේමසිරියාගේ කණේ තියන්න...

සුරේශ් ඉන්නවද?

ඔය ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ...

මමත් ඉස්කෝලේ යන්න හිතාගෙන ආවේ නැන්දේ..? අද ප්‍රථිපල එනවලුනේ.. දන්නේ නැත්නම් ඒකත් කියලා සුරේශ්වත් එක්කගෙන යන්න ආවේ..

අනේ දරුවෝ.. මේ වට පිටේ එව්වො දැක්කොත් අපටත් විසුමක් වෙන්නේ නෑ...

මම තාත්තට කියලමයි නැන්දේ ආවේ.. අද සුරේශ් එක්ක යන්නේ කියලා... අම්මටත් කිව්වා.. යාළුවෝ නැති නිසා සුරේශ් එක්කවත් යන්න කියල කිව්වා...

එන්න ළමයෝ ගෙට... පුරුද්දට එහෙම කිව්වට නිරාශා කවදාවත් ගෙට ගොඩ උනේ නෑ.. පිළිතුරු උත්තරෙත් පුරුදු විදිහටම නිරාශාගේ මුවින් පිට වුනා..

කමක් නෑ නැන්දේ... මෙහෙම හොඳයි...

සුරේශ් ලක ලෑස්ති වෙලා නිරාශාත් එක්ක ඈතට යනකම්ම බලන් හිටියට මොකද, හදවත කොණක හීනියට ඇවිලෙන ගින්දරක් තියෙන බව ස්වර්ණාට දැණුනා..

ඉතින්....? නිරාශාම නිහැඬියාව බින්දා....

පිංතූරය මෙතනින්...                                                        මතු සම්භන්ධයි...

ප.ලි. අළුතින් ලියන්න පටන් ගත්තා වුනත් කට්ටිය දෙන සහයෝගය ඉතාම අගය කරනවා... ප්‍රසංශා අඩුපාඩුත් පෙන්නලා දෙනවානම් ඉතාමත් අගය කරනවා...


5 comments:

  1. "මද්දුවෝ.. වෙරළට පලයන්, තාත්තා එනවා ඇති..."

    වෙරළට කියනවාට වඩා "වැල්ලට" කියන එක සෙට් වෙනවා නේද ?

    ReplyDelete
  2. මට නම් මහා ලොකු වැරද්දක් පෙන්නේ නෑ. ඒත් අර හසිත අයිය කියපු කතාව නම් ඇත්ත..
    කතාව ලියද්දි හැම තිස්සෙම ප්‍රයෝගික වෙනවා නම් කතාව සාර්ථකයි. මොකද චිත්ත රුප මව ගන්ට ලේසිනෙ.
    අනිත් දවසේ පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න...
    ජය වේවා...!! ලියන එක නවත්තන්න නම් එපා..

    ReplyDelete
  3. හසිත කිව්ව වගේ වැල්ලට කිව්වොත් ටිකක් හරි නේද.. වැල්ලේ භාෂාව වගේම සංස්කෘතිය වෙනස් අනිත් හැමතැනටම වඩා..

    මොකක්වුනත් හරි අපුරුවට ලියලා.. අද මේ කතාවේ කොටස් 4 ක්ම ඉවර කළා..

    ReplyDelete
  4. එල...
    හසිත අයියා කිවුවා වගේ පොඩි දේවල් ඇරුනම කතාවනං පට්ට ඈ...
    ඉක්මනට අනිත් ටිකත් දාමු..

    ReplyDelete
  5. තවත් නොදුටු පැත්තක් ජය

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....