Thursday, August 30, 2012

රුදු රළ පෙළ මත දිවි.. 4


වෙසක් පෝය... කොත්දූව පංසලේ පිංකම් රැසක දවස... හිරූශ දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක් නිසාම පිංකමේ සෑහෙන වගකීම් ගොඩාක් කර පිට පැටලිලා තිබුනා... ගුණපාලත් ස්වර්ණාත් පංසලට යන්න හැදුවේ ඔවුන්ගේම ඔරුවේ... උදේ ඉඳන් පිලී ගඳ යනකම් ඔරුව හෝදපු ගුණපාලගේ හිතේ පංසල් යාම ගැන තිබුනේ අහිංසක ප්‍රීතියක්.. බඩ වියත රැක ගන්න මාළු අල්ලන එක කරාට, හිතේ කොණක තිබ්බ බලාපොරොත්තුව කොල්ලෝ තුන් දෙනා කවදහරි තමන්ව මේ පාපෙන් මුදවයි කියන එක.. ලොක්කා සුජියා සුසන්තයාගේ ටෝලරේ නගිනකොට නම් හිතුනේ ඒ පරපුරත් මේ මුහුදෙම යයි කියලයි, ඒත් උගේ අරමුණත් මල්ලිලා දෙන්නට හොඳට වියදම් කිරීම කියලා ස්වර්ණා තේරුම් කරලා දෙනකොට තමයි ගුණපාල යන්තම් හරි සැනසීමෙන් හුස්ම ගත්තේ...


සුරේශ් එක්ක සුජිත් පිටත් වුනේ කොළු රැලත් එක්ක පංසල් යන්න හිතාගෙන පාලම ගාවට යන්න... වැල්ලේ එල්ලපු බකට් ටිකට ලයිට් දමපු අයියා මලෝ, පාලම ලඟ දන්සලටත් පොඩි උදව්වක් කරලමයි කොණ්ඩ ඉශාගේ මෝටර් බෝට්ටුවට ගොඩ වුනේ..


මද්දු..

ලොකු අයියේ...

දැන් කෝමද උඹේ ප්‍රේම කථාව..? සුජියා දෙමවුපියෝ නැති එකේ උපරිම ප්‍රයෝජනය ගන්න හිතාගෙන ඇහුවා..

ඔන්න ඔහෙ යනවා අයියේ..

පරිස්සමින් කරගෙන පලයන්.. මම ඉස්කෝලෙ නොයන්නේ උඹලව ගොඩ දාන්න... ඒ නිසා ඉස්සෙල්ලා උඹ ඒ ගැන හිතලා හිටින්...

ඇයි..? අයියට අම්මවත් මොකුත් කිව්වද?

නෑ... අම්මට තියෙන එකම සැනසීම තමයි උඹ පරණ විදිහටම පාඩම් කරන එක.. ප්‍රේමසිරියගේ ගෑනිත් අරවා මේවා කියලා තියෙනවා අම්මට.. අම්මට බයයිලු ඒ ගෙදර උනුත් මේ ගැන දන්නව ඇති කියලා.. 

ඒක වෙන්න බෑ අයියේ... අපි වැඩිය එළි පහලියේ ගැවසෙන්නේ නෑ බන්...

ඒ කියන්නේ උඹලා දැන් යන්නේ කාමර ගානෙද..? ලොක්ක මද්දුවාගේ පිටට අතක් දාන ගමන් ඇහුවේ ඌට ලැජ්ජා හිතෙයි කියලා..

පිස්සුද ලොකු අයියේ.. මම කොහෙවත් ලව් කරන්න කියලා යන්නේ නෑ බන්.. හම්බෙන වෙලවට පොඩ්ඩක් කතා කරනවා.. මේක මහ පටලැවිල්ලක් කියලා මටත් තේරෙනවා අයියේ.. ඒත් මම ඒකිට ආදරෙයි.. විභාගේ ඉවර වෙනකන් ඔන්න ඔහෙ යනවා... ඊට පස්සේ බලනවා මොකක් හරි.. කිගෙ ආදරේ හරි අමුතුයි අයියේ.. ඒකයි මම කැමති...

හා හා... ඔය ඇති... කරන දෙයක් මොලේ ඇතුව කරහන්.. වැල්ලේ අනිත් එව්වෝ වගේ නෙවේනෙ අපි.. එක විදිහකට හිටපු මිනිස්සු.. ඒ නිසා ඒ ගැන හිතලා කරන දෙයක් කරපන් මද්දු.. දැන් බැහැපන්....

ලොකු අයියගේ අනින් හිස එසවූ මද්දුට පෙනුනේ දහස් ගණන් පහන් සිළු වලින් එකාලෝක වෙච්ච කොත්දූව රජ මහා විහාරය.. බෝට්ටුවෙන් බැස්ස වෙලේ ඉඳන් ඔහුගේ ඇස් හෙව්වේ එක රුවක්...

කලබල වෙන්න එපා මද්දු.. ගමේ ගෑනුන්ගේ ඇස් අපට වඩා තියුණුයි.. ඒ නිසා අද පරිස්සමින්...

මද්දුට එක පාරටම සිනා පිටවුනේ දැකපු දෙයින්...

මොකද මද්දු?

මමනම් යාළුවුනේ එකෙක් එක්ක.. අරූ ගමේ කෙල්ලෝ ඔක්කොම උස්සයි වගේ.. අර වට කරගෙන ඉන්න හැටි...

මද්දු පෙන්නූ දෙස බැලූ සුජිත් දැක්කේ නව යව්වන තරුණියෝ කීප දෙනෙක් මැද්දේ පින්කම් වැඩ මෙහෙයවමින් හිටපු හිරූශව... 16 හැවිරිදි පොඩ්ඩා තමයි පවුලේ ලස්සනම කොල්ලා.. උගෙ ඉගෙනීමේ හැකියාවත්, ක්‍රීඩා කෞශල්‍යයත් නිසා යන හැම තැනම කැපිලා පෙනුනා.. වැල්ලේ හිටපු ලස්සනම කොල්ලා කියලයි තාත්තා ඌව හැන්දිවූයේ... උඹ පරිස්සමින් ඉදපන් පොඩ්ඩා.. සුද්දෙක් දැක්කොත් උඹව අරන් යයි ඒරොප්පෙට.. තාත්තයි අයියලයි නිතරම මෙහෙම කියමින් පොඩ්ඩව කේන්ති ගැස්සුවා..

මට ඕකත් හම්බ වෙයිද දන්නේ නෑ අම්බලන්ගොඩ ස්ටේශමේදි කෙල්ලෙක් එක්ක ලව් කර කර ඉන්නවා...

අයියාගේ ඒ කථාවෙන් නම් සුරේශ් ලැජ්ජාවට පත්වෙලා ගියා.. ඔහු මොකුත්ම නොකියා තමන්ට අවැසි රුව සොයා දෙනෙත් යවන්නට වුනා... 

පින්වතුණි,

අද වෙසක් පෝය දවසේ මම අප මහා බුදුරජානන්ගේ තෙමඟුල ගැන බණ කියලා වැඩක් නෑ... අපේ එදිනේදා ජීවිතයේ දී අපි නොහිතන බොහොම සුළු දේවල් නිසා අපේ වටේ ඉන්න ගොඩාක් අය අපහසුතාවයට පත් වෙනවා.. අන්න ඒ වගේ කරුණු ගැන තමන් මීට වඩා හිතන එක තමයි පින්වතුනි වැදගත්... අපේ මේ දහම් පාසලේ එක එක ජාතියේ, එක එක තරාතිරමේ, එක එක වයස්වල, දරුවෝ ඉන්නවා... ඔය ගඟේ බැම්මෙන් බැහැලා විහාරස්ථානයට ගොඩ වෙද්දි ඒ එක එක දේවල් ගඟටම දාල එන්න කියලා තමයි මම කියලා තියෙන්නේ... ඉතින් පිංවතුනි ඒ එක එක ළමයි එක් අයෙක් වෙලා කරපු වෙසක් පිංකම් මාලාව කොච්චර ලස්සනද කියලා බලන්න.. මේ දහම් පාසලෙන් ගන්න ආදර්ශය... ගමේ අපිත් එක පවුලක්..එහෙමයි වැඩ කරන්න ඕන... මටයි ලොකු හාමුඳුරුවන්ටයි රණ්ඩු බේරලා ඉවරයක් නෑ.. ඉතින් පිංවතුනි මේ පිංබර වෙසක් දවසේ අපි හිතා ගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි.. අපි ඇතිකරගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි...

පණ්ඩිත හාමුදුරුවන්ගේ බණ අහගෙන හිටපු ස්වර්ණාට අනේ අපිනම් එහෙම නෑ හාමුදුරුවනේ කියලා හිතුනා... හිරූශ එන්න කොහොමත් රෑ වෙන නිසා දෙන්න දෙමහල්ලෝ යන්න පිටත් වුනා.. ලොක්ක සුජිත්, මල්ලිව හෙව්වේ අම්මලා එක්කම ගෙදර යන්න. ප්‍රේමසිරි මුදලාලියි, බිරිඳයි, නිරාශායි, එක්ක ලොකු කතාවකට වැටිලා හිටිය සුරේශ් දැක්ක ලොකු අයියගේ මුවට සිනාවක් නැගුනේ නිරායාසයෙන්.. 

මූ නම් ලකුණු දාගන්න දෙයියා....

මෙහෙම හිතමින්ම සුජිත් අම්මයි තාත්තයි එක්ක පල්ලම් බැස්සේ ගෙදර යන්න... 


පංසලේ ඉඳන් ගෙදර එන හැමෝගෙම හිත් නිවිලා පහන් වෙලා... එදා රෑ නිදි ඇඳට යනකොටත් ස්වර්ණාගේ ඔලුවේ තිබ්බේ පොඩි බරක්.. නිඳි ඇඳට ඉතින් වෙසක් පෝය කියලා නෑ ගුණපාලට... අළුත බැන්ද වගේ වගේ ගුණපාලගේ දිග ඇරපු වම් අත උඩ හිස තියාගෙනම ස්වර්ණා දොඩමළු වුනා...

මහත්තයෝ..

මොකො....?

පොඩි එකාත් මොනා හරි එකක පැටලෙයිද? අර පංසලේ කෙල්ලෝ වට කරගෙන මට නිකන් බයේ බෑ කියලා හිතුනා අප්පේ...

දැන් උට වයස කීයද?

16යිනේ.. මේ දෙසැම්බරේ විභාගෙත් ලියනවා නොවැ..

උඹ මාත් එක්ක ආවේ කීයෙදිද සුවර්ණෝ...?

16දිනේ...

එහෙනම් ඉතින් මඟුලක් දොඩෝනවද බොලාලා...

ඔය කිව්වේ ඉතින්.. ස්වර්නා නොරුස්නා මුහුණ ගුණපාලගේ පපුවේ ඔබා ගත්තා...

පිංතූරය මෙතනින්...                                                        මතු සම්භන්ධයි..


14 comments:

  1. ඒක‍නේ ස්වර්නෝ...
    හික්ස්...
    දොඩමලු වෙනව කියන වචනේ ගැන චුට්ටක් හොයලා බලන්න සංඛ. මං කිවුවේ තේරුම...
    කතාවනං පට්ට!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හෙව්වා.. නොගැළපෙනවයි කියලා හිතුනේ නෑ තරිඳු.. පොඩ්ඩක් කියලා දෙනවද?

      Delete
    2. දොඩමලු වෙනවා කියන්නේ කතාබහකට වැටෙනවා කියන එක නේද? අවුලක් නම් නෑ තරියෝ..

      Delete
    3. දොඩමලු වෙනවා කියන එකේ තේරුම බීලා අනං මනං කියවනවා කියන එකයි..
      එහෙම බැලුවම දොඩමලු වනවා = නන් දොඩවනවා...
      මන්දා මම දන්නෙ එහෙමයි...
      ඒ තරං ලොකු වැරැද්දක් නැතත් මං හිතුවා ඒක කියන එක මගේ යුතුකම කියලා..
      අනිත් අයත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ..

      Delete
  2. එක ලඟ දාන්න එපා මචන්, කොටස් මිස් වෙනවා..... උඹට ලියන්නම ඕනනම් කථාව නොලිය වෙන මොනා හරි ලියහන්,,,,, :D

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තම ගලාගෙන එනවා අයියේ... මම ඉතින් ලියන්න දන්නේ මේවා විතරයි.. ස්තූතියි අර උපදෙස් ටිකට....

      Delete
  3. සිරාම කතාවක් බන් .... කතාවක් කිව්වට එහෙම හිතෙන්නේ නෑ .. අපි දන්නා කියන එකෙක් තමන්ගේ විස්තර අපිත් එක්ක කියනවා වගේ හැගීමක් තමයි ආවේ...

    ReplyDelete
  4. පවුලේ වැඩිමලාගේ භූම්කාව නියමෙටම තියෙනවා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. දොඩමළු වචනයේ වරදක් මටත් නොපෙනේ... ජය!

    උඩින් ඇති කමෙන්ටුව වැරදීමකින් පළවිය... අයින් කරන්න :)

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....