Friday, September 21, 2012

රුදු රළ පෙළ මත දිවි.. 7


හැමදාම වගේ අදත් අපි ආවේ මුහුද බලන්න... ගෙදර ඉද්දිත් මේක දිහා බලාගෙන ඉන්නේ... දැන් ඇවිල්ලත් අපි දෙන්නා කතා නැතිව මුහුද දිහා බලාගෙන ඉන්නවා..

නිහැඬියාව මැදින් මුහුද දිහා බලාගෙන නිරාශා මිමිණුවා....

මට තවත් එක දෙයක් තියෙනවා නිරූ එහෙම එපා නොවෙන....

ඒ මොකක්ද?

ඒ ඔයා... කොච්චර දැක්කත් එපා වෙන්නේ නෑ....

එහෙමනම් කොච්චර දෙයක්ද සුරේශ්... රිසල්ට්ස් බලලා ගෙදර ගියාට පස්සේ මටත් අනිත් කෙල්ලොන්ට දැනෙන බයම දැනුනා... ඔයා ලොක්කෙක් වුනාට පස්සේ මාව එපා වෙයිද කියලා.. එහෙම උනත් කමක් නෑ කියලා හිත හදා ගත්තා...

මට ඔයා අමතක වෙන්නේ නෑ මගේ මැණික,,,,

හරියටම උදේ 8 වෙනකොට දුම්රිය පොලට මුණ ගැහුන මේ දෙන්නා කෝච්චියේම ආවේ ගාලු කොටුවට... කුඩ යට තුරුලු වෙලා හිටපු සිය ගානක් පෙම්වතුන් අතරට එකතු වුන සුරේශ් සහ නිරාශා ඒ හැම පෙම්වතෙක් වගේම තමන්ගේ අනාගතය ගැන හීන මවන්න පටන් ගත්තා... ගල් කාණුව දිගේ පෙම් යුවලවල් 10ක් විතර, වෙන වෙන ලෝකවල තනිවෙලා හිටියා... නිරාශාත් සුරේශ්ගේ ලය මත හිස තබා ගත්තේ ප්‍රේමය විඳින්නට තිබෙන නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නට වෙන්න ඇති..

නිරූ...

ම්ම්ම්ම්ම්.....?

ඇත්තටම ඇයි ඔයාට මට ආදරේ හිතුනේ....

මම දන්නේ නෑ සුරේශ්... මම දැනටත් දන්නේ මට එහෙම හිතුනා කියලා විතරයි...

අද හරි නිදහස් නේද නිරූ... නිරාශාගේ උරහිස වටේ ගිය සුරේශ්ගේ වමතේ ඇඟිලි තුඩු ලතාවකට ඉහල පහල යන්න උනා... ඒ එක්කම සුරේශ්ගේ තොල් නිරාශාගේ නලල් තලයට පහත් වුනා... ජීවිතේ පළවෙනි වතාවට විඳින මේ සුවය දරාගන්නට බැරිව නිරාශාගේ දෑස පිය වුනා...

*******

අජියා වරේ.........න්.......

මොකද **තො බෙරිහන් දෙන්නේ....

යමන් රා කට්ටක් ගහමු.. මගේ ගානේ...

ආරන්චියි.. මලයා උඩින්ම ගොඩ ගිහින් කියලා.. ඒකනේ මචන් කියන්නේ,,, කරදර පස්සෙන් එන්නේ සුභ ආරන්චි කියලා...

සිරා හැගීමක් බන් හිතේ තියෙන්නේ... යමන් යමන්....

කාලෙකින් මුණ ගැහුන හොඳම යාළුවෝ දෙන්නා රා තැබෑරුම පැත්තට පිය එසෙව්වා....

මේ සුජියා....

කියපන්...

උඹ මොකද කරන්නේ හවස...

ලොකු වැඩක් නෑ...

සනසේ මැනේජරයා එන්න කිව්ව හවස... ඌව හම්බෙන්න යමුද?

ඒ පාර උඹ මොනාද කරන්න හදන්නේ?

මම  ත් එක්ක කතා කලා ලක්ශෙක ලෝන් එකක් ගන්න... ඒකෙන් අපි මාළු ටිකක් අරන් පටන් ගමුද පොඩි වැඩක්..

මගෙ ඔය අදහස නම් තිබ්බා අජියා.. හවුලෙ කරනවානම් උ තරම් හොද වෙන යාලුවෙකුත් නෑ.. මේ රා ශොට් එක ඉවර වෙන්න කලින් මම උඹට වචනයක් දෙන්නම්....

අපි කවදාහරි දියුනු වෙන්න ඕන බන්... හැමදාම අනුන්ගේ බෝට්ටුවලම ජීවිතේ ගෙවන්න බෑ බන්...

ඇත්ත... ඕකම මගේ ඔළුවෙත් වැඩ කරනවා මචන්...

ඊයේ රෑ මද්දුවා වෙරළට ගිය වෙලාවේ සිද්ද වෙච්ච කතාබහ ආයෙත් සුජිත්ගේ ඔලුවට ගලාගෙන ආවා..

ලොකු පුතේ...

ඇයි අම්මේ..

තාත්තට දැන් මුහුදු යන්න අමාරුයි... නරකද උඹ පොඩි වෙළදාමක්වත් පටන් ගන්න හිතුවොත්....

මගෙ හිතෙත් ඕක තියෙනවා අම්මේ... ඒත් ඒවාට ප්‍රශ්ණ ගොඩයි...

ලොකු පුතෙ.. ප්‍රශ්ණ කිය කියා හිටියනම් අද උඹත් ඔතන නෑ... දැන් මොනවැයි ඔය ප්‍රශ්ණ..

ලොකුම එක අම්මේ සල්ලි නෑ.. අනික මාළු ඇර වෙන වෙළදාමක් කරන්න සල්ලි නෑ...

ඉතින් මාළු වෙළදාමක්ම කරහන්කෝ.. මම සල්ලි ටිකක් දෙන්නම්...

අම්ම ගාව කොයින්ද සල්ලි....

මම උඹලගෙ තාත්තත් එක්ක ඇවිත් දැන් අවුරුදු 30ක්... හැමදාම උබලගේ තාත්තා මගේ අතට කීයක් හරි දුන්නා.. ඒකෙන් ඉතිරි කරපු ඔක්කොම සල්ලි ටික තියෙනව කුස්සියේ තියෙන කලේ.. මට ඕවා තේරෙන්නේ නෑ... උඹම ගැනලා බලහන්,,,

තාත්තාත් ඉන්න වෙලාවක ගනිමු අම්මේ... සුජිත් හිතේ අම්මා ගැන ආඩම්බරයක් එක්ක ගෞරවයක් ඇති වුනා... අදම ගිහින් මේ ගැන කතා කරන්න ඕන කියලා හිතද්දි මුවට නැගුනේ හීනි හිනාවක්..

මොකද බන් තනියෙන් හිනාවෙන්නේ.. උඹට ඩෝප් ද?

අපි අර වැඩේ පටන් ගමු මචන්.. හවස යමු....

අන්න මස්සිනා... එළකිරි... යමන්... තව එක දෙයක් තියෙනවා..

ඒ පාර මොන ***ක්ද?

ඒකක් තමයි බන්.. අර මාටින්ගේ දුව නිර්මලා ගැන මොකද උඹ හිතන්නේ...

හොඳ කෙල්ල... ඇයි?

මට ඒකිට බැල්ම දාන්න හිතක් පහල වෙනවා...

කිසි අවුලක් නෑ.. ඒකි එහෙ මෙහෙ ගිහින් චාටර් වුනා කියලත් මම අහල නෑ..

මම ඊයෙ පොඩ්ඩක් සීන් එකට එන්ටර් වුනා.. අවුලක් නෑ වගේ.. 

ඔන්න පුතා.. උඹ අපිට කියන්නේ පෙරහැර ගියාට පස්සෙනේ.. 

නෑ බන්, පවුලට පෑහෙන එකෙක් එපායැ කර ගහගන්න...

මම ඕනනම් ශ්‍රියා නැන්දට කියන්නම්....

මේ මචන්..., මම වැඩේ කරගන්නම්.. උඹ ඕක අහන්න ගියොත් ඔය ගෑනි කියයි අජිත් පුතාට නෙවෙයි පුලුවන්නම් උඹ අරගෙන පලයන් කියලා.. ඇයි මේ ගමේ ගෑනු හිතන් ඉන්නේ උඹ හෙන බෝධි සත්ත්වයා කියලනේ...

ඒකටනම් දෙන්නටම හොද හැටියට හිනා ගියා...

*******

දැන් නම් ගොඩාක් දවල් වෙලා සුරේ.. අපි යමුද? නිරාශා ඇහුවේ කැමැත්තකින් නෙවේ...

යමු.. නිදහස උනත් ඕනවට වඩා පාවිච්චි කරන්න හොඳ නෑ.. කෝච්චියේම යමු..

හා.. මොනවාහරි කාලා යමු... මට බඩ ගිනියි...

හරි නිරු.. මොකෝ මේ ඇඳුම් අවුල් කරගෙන... තම ඇඳුම නිසි ලෙස සකසමින් හිටපු නිරාශාගෙන් සුරේශ් ඇහුවේ පොඩි හිනාවකුත් එක්ක...

කවුද දන්නේ නෑ අවුල් කලේ.. මම අද තමයි දන්නේ උපාසකයගේ තරම... 

ප්‍රතිපල නිසා හිතේ තිබුනු සතුටත්, අද තනිවෙච්ච නිසා හිතේ තිබුනු සතුටත් නිසා නිරාශා සහ සුරේශ් හිටියෙ හරිම සතුටින්... නිරාශාගේ සුලගිල්ල ආදරෙන් අල්ලගෙන සුරේශ් ගාල්ල බස් නැවතුම්පලට පිය නගන්න වුනා...

*******


කුකුල් මස් සුවඳ නහයට දැනෙන කොට සුරේශ් හිටියේ කාමරේ පොතක් කියවන ගමන්... සුජිත් ඇවිත් ඇඳේ ඉඳගද්දි පොත වහපු සුරේශ්, අයියට ඉඩ දීලා ඇඳේ අනික් කෙළවරේ ඉඳ ගත්තා.. ඇඳේ කිරි කිරි සද්දේ දෙන්නටම අමුත්තක් වුනේ නෑ... 

දැන් උඹලා දෙන්නා අද ගාලු කොටුවට වෙලා මොනවද කතා කලේ....?

අයියා කොහොමද දන්නේ අපි ගාලු ගියා කියලා...

හරි, ඒවා වැඩක් නෑ... දැන් කියපන් උඹලා දෙන්නා මොනවද කරන්න හදන්නේ කියලා...

විශේශ දෙයක් නෑ අයියේ.. කැම්පස් පටන් ගන්නකන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඉන්නේ.. සීසන් එක අරගෙන කොළඹ ගිහින් හොද ඉංග්‍රීසි කෝස් එකක් කරනවා... නිරූනම් එහෙ නැවතිලාම බ්‍රිටිශ් කවුන්සිල් කරනවලු.. අපිට එච්චර සල්ලි නෑනේ අයියේ..

හොදයි.. දැන් ප්‍රේමසිරියා දන්නවද මේ හුටපටේ...

නෑ කියලා තමයි හිතෙන්නේ.. නිරූනම් කියනවා දැනගෙන සද්දෙ වහලා ඉන්නවද දන්නෙත් නෑ කියලා...

ඔව්.. මටත් එහෙමයි හිතෙන්නේ.. ඕකා හෙන කපටිය.. ලෝයර් හින්දා අයින් කරන්නත් බෑ.. මාලු කාරයාගෙ පුත හින්දා ලං කර ගන්නත් බෑ කියලා හිතනවා ඇති.. මම ආවේ ඒක කියන්න නෙමෙයි... අද ගියා මමයි අජියයි සනසෙ මැනේජර් හම්බෙන්න...

ඉතින්...

මිනිහා අජියාට ලක්ශෙක ලෝන් එකක් දෙන්නම් කියලා.. මමත් එක්ක එකතු වෙන නිසා ලක්ශ දෙකක් දෙන්නම් කිව්වා.. පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නේ අපි දෙන්නා.. 

ඒක හොදයි... අයියා අම්මයි තාත්තයි එක්ක කතා කලාද මේ ගැන..

අද රෑ කතා කරමු... උඹත් වරෙන්කො...

හරි අයියේ....

රෑ කෑම කාල ඉවර වෙද්දි කට්ටියගෙම හිතේ තිබ්බේ හීනි සතුටක්... සාදයක් නොවුනත් කාලෙකට පස්සේ ගෙදර අය එකතුවෙලා එකට කෑම ගැනීමම ලොකු දෙයක් කියලා ස්වර්ණාට හිතුනා... අස්පස් කෙරිලි පැත්තක තියලා, සාලෙට ආවේ වැදගත් කතාවක් කරන්න කියලා...

මහත්තයො.. මේ ලොකු පුතා බිසිනස් එකක් කොරන්න යනවයි කියන්නේ....

හ්ම්ම්ම්.....

හූ මිටිය යහපත්.. කොල්ලෝ තුන් දෙනා සාලෙට ආවේ මේ ගැන කථා කරන්න....

ඔව් තාත්තේ.. තාත්තා දැන් මහන්සි වුනා ඇති... මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ අජිත් එක්ක...

මට තාම දෑතෙ හයිය තියෙනවා ලොක්කෝ... අනික ඕවට කොයින්ද සල්ලි...

බැංකුවේ මහත්තයා ලක්ශ දෙකක ණයක් දෙන්නම් කිව්වා අවුරුදු 5කින් ගෙවන්න....

ලොකු පුතේ... අර කුස්සියේ මැස්ස උඩ ඇති පැලැස්තර දාපු කලේ... ඒකත් අරන් වරෙන්...

පොඩ්ඩො ඒක ගෙනෙන්....

හිරූශ ගෙනාපු කලේ තිබ්බ මුදල් නෝට්ටු එකින් එක සුජිත් එළියට අදින්න වුනා... රුපියල් දහසේ සහ පන්සියයේ කොල වලින් කලය භාගයක් පිරිලා තිබුනා...

කොහෙන්ද සුවර්ණෝ මෙච්චර සල්ලි උඹට..? ගුණපාල කවදාවත් මෙච්චර සල්ලියක් දැකලා තිබුනේ නෑ...

ඔහේ මේ අවුරුදු 30ට ගෙනත් දුන්න සල්ලිවල ඉතුරු ටික තමයි මහත්තයො.... කීයක් තියෙනවද ලොක්කෝ...

හැත්තෑ අටදාස් හයසීයක් තියෙනවා අම්මේ....

මම එච්චර ගෙනත් දුන්නද සුවර්නෝ.....

ඔයිට වඩා ගෙනිහින් දුන්නා බඩා මුදලාලියාට.....

කසිප්පු උගුරක් බීඩියක් නැති ජීවිතෙ මොකටද බන් මාළු කාරයෙකුට.....

දැන් ලොකු පුතේ, මොනා හරි කරපන් ඕකෙන්... 

කල්පනා කරලා බලමු අම්මේ... ටවුමේ කඩයක් ඇරියානම් හොඳයි කියලා හිතෙනවා... බලමුකෝ අජියා එක්කත් කතා කරලා... අම්මට බය හිතුනේ නැද්ද අම්මේ මෙච්චර සල්ලි ගෙදර තියාගෙන ඉන්න....

මම දන්නේ නෑ පුතේ ඔච්චර තියෙනවා කියලා... අද තමයි දැක්කෙත්... 

මෙවන් දිරිය කාන්තාවක් තම මව වීම ගැන පුතුන් තුල ජනිත වූයේ හැබෑම ආඩම්බරයක්....

මට දැන් මැරෙන්න භය නෑ පුතේ..... ගුණපාලගේ හැඬුම් ස්වරය ඒ රාත්‍රියට සංවේදීකමක් අරන් ආවා..  

පිංතූරය මෙතනින්....                                            මතු සම්භන්ධයි....

Monday, September 3, 2012

රුදු රළ පෙළ මත දිවි.. 6


ආ... ජෝඩු දාලා යනකොට ආතල්ද..........................?

පිටිපස්සෙන් ඇහුණු පජාත කටහඬ අදුර ගන්න සුරේශ්ට වැඩි වෙලාවක් ගියේ නෑ.. 

බලු කථා කියන්න එපා තිසා... බලපන් කාටහරි ඇහුණානම් එහෙම...

අනේ යකෝ.. බොලාට ජෝඩු දාල යන්න පුලුවන් රාමා සීතා වගේ... මෙතන අපි ටිකක් හයියෙන් කට ඇරියොත් තමයි මූණ නාළු කරගෙන කෙඳිරි ගාන්නේ... යමන් සිගරට් එකක් ගහන්න.. ඕකිව ඉස්කෝලෙට දාල වරෙන්...

තිසා.. සිගරට් බොන්න යනවනම් තනියම පලයන්.. සුරේශ්ව එක්ක යන්න එපා.. 

අනේ සමාවියන් නිරූ.. උඹේ කොල්ලයි මමයි ගහන බට...  ඕකට සිගරට් එකක් අදිනවා තියා බීම බටේකින් බීම ටිකක් උඩට ඇඳගන්න බෑ බන්...

එයාගේ ඇඳිල්ල මම බලා ගන්නම් තිසා.. උඹ හිටපන් පාඩුවේ....

අම්මට සිරි.. තොපිට දැන් අපි උඹලා වෙනුවෙන් හෙළපු දහඩිය කඳුලු, කාපු කටු, තියපු බෙලි, ඔක්කොම අමතකයි ආ.... අඩෝ බලහන්කෝ සුරේශ් මේකිගේ සැර...

හරි බන්.. කට වහගනිල්ලා දෙන්නම... දෙන්නා එකතු වුනොත් ඇවිලෙනවා.. මට තමයි කන්කරච්චලේ...

කොහොමද සුරේශ්, ප්‍රථිපල බලන්න ආවද?

නෑ මිස් අපි මේ පොළට ආවා යුනිෆෝම් ඇඳගෙන...

ලොජික් උගන්නපු පෙරේරා මිස්ට උත්තරේ හම්බුනේ තිසල්ගෙන්..

ආ.. ඇත්තද? එහෙනම් බඩු අරගෙන පලයන් තිසල්... හිනාවෙන්ම උත්තර දුන්න ගුරුතුමී ගැන තුන් දෙනාගෙම හිතේ තිබ්බේ ලොකු ගරුත්වයක්... මිස්ගේ මුහුණට ඊලඟ වතාවේ ආවේ බැරෑරුම් කමක්....

දැන් දෙන්නා අනාගතේ තීරණය කරලද?

මොන දෙන්නද මිස්? නිරුයි, සුරේශ් දෙන්නගේ කකුල් සීතල වුනා....

අපි ඔය වයස පහු කරලා ලමයෝ ආවේ.. ඉගෙන ගන්න එකට බාධාවක් නොකරගෙන පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ගිය නිසා තමයි අපිත් නොදැක්කා වගේ හිටියේ.. දෙන්නාම හොඳට විභාගේ පාස් වෙයි.. තිසල් ගැනත් මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ... තව පැයකින් විතර ප්‍රථිපල ගෙනෙයි.. මම හිතන්නේ ප්‍රින්සිපල් ගියා තැපැල් කන්තෝරුවට..

විභාගෙ පාස් වෙයි කියලා හිතනවා  මිස්.. ඒත් මිස් මම ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා.. මට නිකන් ලැජ්ජයි වගේ... තිසාට කුණු කතාවක් කියන්න තියෙනවානම් කවුද කියලා නෑ.. සුරේශ් තනියම හිනා වුනා..

අනේ පලයන් කොල්ලො මගෙන් කුණුහරප අහන්නේ නැතුව.. කියාගෙන මිස් ගියා.. ප්‍රතිපල එනකම් කට්ටිය ඉස්කෝලේ පුරා තැන් තැන් වල යාළුවොත් එක්ක පොඩි පොඩි සාකච්ඡා පවත්වමින් හිටියේ... සුරේශ් ගේ ප්‍රතිපල සම්භන්ධව කිසි කෙනෙකුට සැකයක් නොතිබ්බ එක ඔහුගේ පීඩනය තවත් වැඩි කරන්න සමත් වුනා... නිරූ නම් ඒ ගැන ආඩම්භරෙන් හිටියේ.. ප්‍රථිපල සම්භන්ධව සපුරා අමතක කරපු තිසල් කට්ටියත් එක්ක රිසි සේ විනෝද වුනා...

පියදාස අයියා කොල ටික අරන් ආවේ දැන්වීම් පුවරුවේ දාන්න... ඊටත් කලින් ගුරු මණ්ඩලය ප්‍රථිපල බලලා තිබ්බා... පොලිටිකල් කරපු ජයන්ත සර්, සුරේශ්ට මහපටගිල්ල උස්සලා පෙන්නුවා...  පොරකාපු ළමයි අතරින් ජයන්ත සර් සුරේශ් ගාවට ආවා...

නියමයි සුරේශ්, මම හිතුවා ඕක වෙයි කියලා..

මොකද සර් වෙලා තියෙන්නේ....?

උඹට ලෝ ෆැකල්ටි යන්න පුළුවන්.. "ඒ" තුනක් තියෙනවා.. දිස්ත්‍රික් රෑන්ක් එක 18. මගෙන් සුභ පැතුම්.. ප්‍රියම්භිකාවත් නරක නෑ.. යුනිවසිටි යන්න පුළුවන් වෙයි... මම යනවා කොල්ලෝ, පන්තියක් තියෙනවා.. දැන් ඉන්න උන් උඹලට හපන්... 

හරි සර්, සර්ලා අපිට දුන්න දේවල් තමයි මේ... සුරේශ් ගේ හැඟුම්බර හඬ එළියට ආවේ පොඩි ගොතේකුත් එක්කමයි...

මට ඔයා ගැන ආඩම්භරයි සුරේශ්... මම ෆේල් උණත් කමක් නෑ.. ඔයා පාස්නම් ඒ ඇති.. අනේ මට කිස් එකක් දෙන්න විදිහක් නෑනේ බෙල්ල බදාගෙන... සුභ පැතුම් මගෙ රත්තරන්....

තැන්ක් යූ මගෙ මැනික.... තිසල් නම්බර්ස් තුනම අරන්නේ ගියේ.. ඌ බලාගෙන එයි ඔයාගෙ ඒවත්...

අඩෝ.... නීතිඥ්ඥ මහත්තයා සුභ පැතුම්...

තිසල්ගේ හඬ විද්‍යාලය දෙවනත් කලා...

කියපන් මොනවද අපි තුන් දෙනාගේ රිසල්ට්ස්... සුරේශ් කලින් දන්න වගක් හැඟෙව්වෙ නැත්තෙ තිසල්ගෙ ප්‍රීතිය නැති වෙයි කියලා හිතාගෙන..

උඹට ඒ තුනයි.. දිස්ත්‍රික් රෑන්ක් 18. කෙළින්ම ලෝ.. ආයේ එකේ දෙකක් නෑ... මට ඒ දෙකයි, ලොජික් සී බන්.. 142 රෑන්ක්... මේකිත් ගොඩ බන්... සිංහල ඒ ලොජික් බී පොලිටිකල් සී දිස්ත්‍රික් රෑන්ක් එක 245. කොළඹ අහුවෙයි... පට්ට බන්.... මදැයි ඔයින් ගියා....

අඬන්න එපා නිරූ... මේ මොකද?

මට සතුට වාව ගන්න බෑ.. ජීවිතේට කැම්පස් යන්න නොහිතපු මාව උනන්දු කලේ ඔයා.. මම ආදරෙයි මගෙ රත්තරන්... අනේ මට වාව ගන්න බෑ පැටියො.. 

අඬන්න එපා නිරූ.. පස්සෙ අඬමු.. දැන් හිත හදා ගන්න.. නැත්නම් ළමයි මටත් එක්ක විහිළු කරයි...

අම්මට සිරි.. මේකි මොකද බන් වැලහින්න වගේ.. යකෝ නිරූ උඹ විභාගේ ෆේල් වුනානම් මෙතන මැරෙයිනේ බන්... තිසල් ආයෙත් වක්කඩ ඇරියා...

හරි බන්.. වහගෙන ඉඳපන්.. තොටත් බ්‍රේක් නෑනේ කටට.... හවස් වෙනකන් ඉඳලා කොහෙ හරි ගිහිල්ලම යමන්...

එළ එළ... 

ගුරුවරුන්ගේ ‍යාළු මිතුරු මිතුරියන්ගේ සුභ පැතුම් මැද හා තමන්ට උගන්නපු ගුරුවරුන්ගේ දෙපා නමැද තුන් දෙනාම පාසලෙන් පිටත් වුනා... 

කෝච්චියේ යමන්... තිසල්ගේ යෝජනාවට තුන්දෙනාගෙම පය හැරුනේ දුම්රිය පල පැත්තට.. දුම්රිය පලේ බංකුවක පිළිවෙළින් තිසලුත් සුරේශ් හා නිරාශාත් ඉඳගත්තේ දුම්රියක් එන්නට තව බොහෝ වෙලා ඇති නිසා.. වෙනදා කෙලිලොල් ගතියෙන් හැසිරෙන තුන්දෙනා ලඟම තිබ්බේ බොහොම දැඩි නිහඩතාවයක්.. හැමෝම සිතිවිලි අතර හිර වෙලා හිටියා....

සුරා.. මොනාහරි කියපන්කෝ බන්.. තිසල් නිහඬතාව බින්දා..

නෑ බන්.... මට මොකුත් කියන්න වචන එන්නේ නෑ.. මම කියන්න පටන් ගන්නම්.. උඹලා දෙන්නා අහගෙන ඉන්නවද?

කියපන්... තිසල් කිව්වේ නිරාශාගේ මුහුණ බලණ ගමන්.. නිරාශාත් කිසිත් නොකියම ඔළුව වැනුවා...


මචන්, මේ හීනේ මම දැක්කේ ශිෂ්‍යත්වේ ෆේල් වෙලා ගෙදර ආපු වෙලාවෙම... තාත්තගේ මූණ බලලා ඒක ඇද වෙලා තිබ්බ වෙලාවේ.. මම එදා හිතාගත්තා බන් මම හොඳට ඉගෙන ගන්නවා කියලා... මම පාඩම් කරා බන් රෑ එළිවෙනකම්.. උඹලා මාව පොත් ගුල්ලෙක් කියලා හංවඩු ගහයි කියලා බයේ මම දවල් තිස්සේ උඹලත් එක්ක ඔට්ටු වෙලා ගෙදර ගිහින් රෑ පුරා මහන්සි වුනා බන්.. ඒ වගේ ප්‍රතිපල මෙච්චර හැගීම් බරයි කියලා මට හිතුනේ නෑ... ලොක්කා "ඒ" 6ක් එක්ක ඕලෙවල් පාස් වෙලා ටෝලරේට නඟින කොට මට ඇඬුනා බන්... ඒවා තමයි මට තිබ්බ ශක්තිය.. නිරූ පාඩම් නොකලත් ඕන පොත් ටික ඔක්කොම මට දුන්නේ මාව ගොඩ දාන්න.. උඹලගේ පිහිටෙන් මම අද මගේ ඉලක්කෙට ගිහින් මචන්.. මට විභාගෙ පාස් වුනාට වඩා සතුටු, මගේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉටු කරපු එකට මචන්.. එයාලට කොච්චරක් දුරට මේවා තේරෙයිද දන්නේ නෑ.. ඒත් මට සතුටුයි බන්.. ලොක්කාත් හිටියා නම් පාටියක්වත් දාන්න තිබුනා...

සුරේශ්ගේ කම්මුල දිගේ කඳුළු වැක්කෙරෙන්න වුනා.. ඔහු එය පිහ දැමීමටවත් උත්සාහයක් ගත්තෙ නෑ කියලා තිසායි නිරූයි දැක්කට, ඔහුගේ පීඩනය ඔහුටම මුදා හරින්න දීලා ඔවුන් නිෂ්ශබ්ධ වුනා.. සුරේශ් ආයෙත් කථාව පටන් ගත්තා..

මගේ ගමනට එකම බාධකය උනේ නිරූ ඔයා.. අපි දෙන්නා මේක පටන් ගත්ත දවස්වල මට පාඩම් කරන්න බෑ.. ඔයාව මතක් වෙනවා.. සතියක් විතර යද්දි මට අපේ සම්භන්ධය නවත්තන්න හිතුනා.. ඒත් ප්‍රශ්ණෙන් පැනලා දුවනවාට වඩා හිත පාලනය කරන එක හොඳයි කියලා මම ජයසෙන ජයකොඩි මහත්තයාගේ පිච්ච මල නව කථාවේ කියෙව්වා.. අනික ඔයාගෙ ආදරය මට අමතක කරන්න පුලුවන් වුනේ නෑ.. ඒත් දැන්... මට මැරෙන තුරාවට ඔයා ඉන්නවා.. මම ආදරෙයි නිරූ.. මචන් තිසා... මගේ හිත අද හොදට නිදහස්.. හස 6 වෙද්දි බීච් එකට සෙට් වෙමු බියර් බෝතල් දෙකකුත් අරගෙන.. නිරූ මොකුත් කියන්නේ නැති වෙයි බන් අද....

අනේ අනේ.. පේනවා නේද කට්ටයාගේ තරම.. ලොකුවට කියෝලා අන්තිමට කිව්ව එක.. තිසා.. මෙතන සල්ලි වගයක් තියෙනවා.. හවස ඔයාලා වියදම් කරන්න...

අම්මට සිරි නිරූ... උඹනම් දේවතාවියක් නෙවේ.. දේවාලයක්.. අපිට හම්බෙන්නෙ නෑනේ මෙහෙම ගෑණු...

කවුද බන් ගෑණි... ගෑණු ළමයා කියහන්...

උඹනේ දන්නේ.. උඹට ඕනනම් කියහන්.. අපි දන්නවැයි ඕවා...

නොදකින් තොගෙ කටනම් හදන්න බෑ මේ කපේට...

සුරෙයා.. මම අර කඩේට පොඩ්ඩක් ගිහින් එන්නම්.. උඹලා දෙන්නා හිටපන් ටිකක්..  තිසල් එතනින් ගියේ අවශ්‍යතාවයකට නෙමෙයි.. ඒක සුරේශ්ට වගේම නිරාශාත් තේරුණා...

නියම යාළුවෙක්...

හ්ම්ම්... ඉතින් සුරේශ්.. දැන් මොකද කරන්නේ...?

අපි දෙන්නටම කැම්පස් යන්න පුළුවන් වෙච්ච එකෙන් නිරූ, අපි අපේ සටනින් භාගයක් දිනුවා... දැන් මම කැමතියි අපි දෙන්න ගැන ඔයාලගේ ගෙදරින් දැන ගන්නවට.. දැන් එන ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න පුළුවන්... ඒත් අපි පුළුවන් තරම් ආරක්ශා වෙමු.. ඉල්ලගෙන කන්න ඕන නෑනේ ගොන් කරත්තේ...

ඔයාට ඕක ඔච්චර කල් මතක තිබ්බද සුරේශ්..? මටත් කොළඹ අහු වුනොත් හොඳයි... අපි දෙන්නට එකටම හිටියැකි එහෙට වෙලා....

හෙට කොහෙ හරි යමුද නිරූ....

කොහෙද?

දන්නෙ නෑ.. උදේ 8ට මෙතනින් හමුවෙලා කතා කර ගනිමු...

හා... මටනම් බයයි සුරේශ්.. ඒත් ඔයා එක්ක යන නිසා මම එනවා.. ඔයා කිසි දවසක මෙහෙම මට කථා කරලා නෑ... විභාගෙ ඉවර වෙනකම්ම ඉඳලා ඔයා මෙහෙම කතා කලාම ඒක බොරුවට හරි ප්‍රතික්ශේප කරන්න මගේ හිත නැවෙන්නේ නෑ රත්තරන්.... ගෙදරට මොකද කියන්නේ සුරේශ්....

ලයිබ්‍රි එක විකුණමු.. වෙන මොනා කරන්නද?

කපටි කොල්ලා.. අද තිසාත් එක්ක වැඩිය බොන්න එපා සුරේශ්.. මම මේ දෙන ලිහිල වැරදි විදිහට පාවිච්චි කරන්න එපා මහත්තයෝ... ඔයා මගේ හිත රිද්දන්නෙ නෑ කියලා මට විශ්වාසයි... ඒක කඩන්න එපා රත්තරන්...

මම ඒ විශ්වාසේ කඩ කරන්නේ නෑ මගෙ මැණික...

කෝච්චිය එනවා.. කෝ තිසල්...

අර එන්නේ... තිසා දුවගෙන ඇවිත් ඒ පෙට්ටියටම නැග්ගා...

එහෙනම් හවස සෙට් වෙමු මචන්... ගෙදර ගාවදි තිසා සමුගත්තේ අත්ලට අත්ලෙන් පහරක් ගසමින්... ගෙදර වැලේ ලොක්කගේ කමිසය තිබ්බ නිසා ලොක්කා ඇවිත් කියලා හිතාගෙන සුරේශ් ගෙට ගියා...

                                            ******

මද්දුවා.. කෝමද ප්‍රතිපල.. හන්දියේ කඩේ උන් කියනවා උඹ පාස්ලු.. මොකක්ද වෙලා තියෙන්නේ... ලොක්කා බෙරිහන් දීගෙන ගෙට ගොඩ වුනේ හති දාගෙන.. සුජිත් පස්සෙන්ම අම්මත්, තාත්තත්, පොඩ්ඩත්, තුන් දෙනාම ගෙට ගොඩ වුනා...

පාස්නම් තමයි ලොකු අයියේ... ඉඳ ගන්නකෝ කට්ටියම කියන්න විස්තරේ...

මොකක්ද යකෝ ඒ කතාව.. පාස්නම් තමයි... කියහන්.. මොකක්ද තත්වේ....

"ඒ" තුනක් තියෙනවා ලොකු අයියේ... ලෝ ෆැකල්ටිම ගියෑකි...

උඹනම් දෙයියෙක් මගෙ අම්මා... මම ටෝලරේට නැග්ග එක ගැන මට පොඩ්ඩක්වත් දුක නෑ බන්.... මද්දුවාව වැළඳගෙන ඉඹින ලොකූගේ ඇස්වල කඳුලු දැක්ක පොඩ්ඩාටත් ඇඬුනා...

මොකේටද මද්දුවෝ ගියෑකි කිව්වේ..? සුවර්ණා සැකෙන් වගේ ඇහුවේ තේරුණේ නැති නිසා... ඒත් ලොක්කගේ හැසිරීමෙන් මොනා නමුත් සුභවාදී දෙයක් සිදුවෙලා කියලා නම් ඇයට වැටහුනා...

මද්දුවා නීති පීඨයට තේරිලා අම්මේ....

තුණුරුවන් සරණයි මගේ පුතේ... ස්වර්ණාට ඉකි ගැහුනා.. ගුණපාල කරේ තිබ්බේ ලේන්සුවත් අරගෙන එළියට බැස්සේ කවදාවත් කඳුළු උනපු නැති ඒ ඇස් දෙකට නැගුණු කඳුලු බිඳු අනිත් අයට පෙනෙයි කියලා හිතාගෙන.. ආපසු ඔළුව විතරක් හරවපු ඔහු,

උඹ මට ජීවිතේට වටිනාකමක් එකතු කලා මගෙ පුතේ.. තුණුරුවන්ගේ පිහිටයි...

පියාගේ හඬේ තිබ්බ වෙව්ලන ගතිය අඳුරගන්න අම්මටයි දරුවන්ටයි අපහසු වුනේ නෑ...

පොඩ්ඩෝ.. දැක්කනේ... ඊලඟට උඹේ වැඩ ටිකයි අපිට බලන්න ඕන... ලොක්ක කිව්වේ පොඩ්ඩ දිහා බලාගෙන...

මම හිතුවා ඕක වැඩි වෙලා නොයා මගේ පැත්තට කැරකෙයි කියලා.....  පොඩ්ඩ කිව්වේ හිනා වෙවී...

රුපියල් සත නැති වුනාට ගෙදර මෙහෙම තියෙනවනම් කොච්චර එකක්ද කියලා මද්දුට හිතුනා.. අනිත් හැමෝටමත් එහෙම හිතෙන්න ඇති කියලාත් ඔහුගේ යටිහිත කීවා..

ද්දුවෝ.. මට අද සුසන්ත අයියා එක්ක පොඩි ගමනක් යන්න තියෙනවා.. හෙට සමරමු ඕක... උඹ තරහ නෑනේ..

මොන සැමරුම්ද ලොකු අයියේ...

සමරන්නේ නැතුව කොහොමද බන්.. තව අවුරුදු 6කින් අපි කියනකොට අපේ මල්ලි ලෝයර් කෙනෙක් කියලා.. පුහ්...

සොඳුරු සිහින හරිම අපූරුයි කියලා මද්දුවාට දැනුනා... ඇහැට නැගුන කඳුල ලේන්සුවෙන් පිහඳගෙන අප්පච්චි වැල්ලට යනකොටම පාත්වෙච්ච අම්මා එවැනිම සතුටු කඳුලක් චීත්තෙන් පිස දමනවා මද්දුවා සතුටෙන් බලාගෙන හිටියා... 

පින්තූරය මෙතනින්...                                                   මතු සම්භන්ධයි

Saturday, September 1, 2012

රුදු රළ පෙළ මත දිවි.. 5


දෑතට වාරු අරගෙන මුහුදු රළ මතින් අමාරුවෙන් ඔරුව පදින ගුණපාලගේ හිතේ සිතිවිලි සරන්නට වුනා.. තම දුබල දෑතින් හබල අරන් ගොඩබිම පෙනෙන මානයේ ලංතෑරුමක් එල්ලගෙන මාළු අල්ලන්න පටන් අරන් දැන් අවුරුදු තිහකටත් වඩා වැඩියි කියලා ගුණපාලට හිතුනා.. මගේ ඔරුකඳ ඇතුලට වෙලා අවසන් හුස්ම හෙලපු මසුන්ගේ පිහිටෙන්, කීදෙනෙකුගේ ජීවිත රැකුනද කියන එකත් ඔහුගේ සිහියට ආවා...

පීනසේ වැඩිවෙලා ඇඳටම සවිවුණ තාත්තා, ඔහුගේ සේවයට සරි වෙලා හිටපු අම්මා, අදටත් ආගිය තැනක් නොදන්න මල්ලි, තමන්ගේ හොඳම යහලුවාත් එක්ක වහන් වෙලා ගියපු ලොකු නංගි, දෙමවුපියෝ සහෝදර සහෝදරියෝ නෑ කියලා හිතාගෙන ඒරොප්පෙට වෙලා සැප විඳින පොඩි නංගි, මේ හැමෝමත්, අවුරුදු 16දි තමංව විශ්වාස කරලා තමන් එක්ක ආපු සුවර්ණා, දරුවෝ තුන්දෙනා මේ ඔක්කොම මේ ඔරුවෙන් ජීවත් වුන ප්‍රාණියෝ කියලා හිතුනම පරම්පරා දෙකක් සවි කරපු ඔරුව ගැන භක්තියකුත් තමන් ගැන ආඩම්භරයකුත් ඔහුට දැනුනා... ඒ එක්කම වසර ගණනාවකට කළියෙන් තමන්ව අත හැරලා දාලා ගිය ජීවිත ගැන මතකය අළුත් වුනත්, ඔවුන් වෙනුවෙන් කඳුලක් ඇසට එන්නට තරම් ගුණපාලගේ හිත සංවේදී එකක් වුනේ නෑ...

වැල්ලේ ලෑලි ගේක ගෙවන ජීවිතය ඔහුට පුරුදු වෙලා තිබුනේ.. එහි වෙසෙන වෙනත් පවුල් වගේ මාළු අහුවෙන කාලෙට රටේ නැති බඩු ගෙදර පුරවන්නයි වාරකන් කාලෙට ඒවා එකින් එක විකුනන්නයි අවශ්‍ය නැති වුනේ හිතුවක්කාරෙට උනත් තමන් එක්ක දීග ආපු ස්වර්ණාගේ මුදල් පරිහරණය නිසා.. ඒ ඉතිරියත් කාබාසිනියා කලොත් කරන්නේ තමන්ම කසිප්පු මුදලාලිට දීලා කියලා ගුණපාලට නොහිතුනාම නෙවෙයි.. "කසිප්පු උගුරක් නැති බීඩියක් නැති ජීවිතේ මොකටද මාළු කාරයෙකුට.." ස්වර්ණාගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න ගුණපාල උත්තරේ හදාගත්තේ ඒ විදිහට... යස ඉසුරු බෝමයක් නැතත් ණය නැති ජීවිතේ ඔළුවට හරිම නිදහසක් කියලා හිතුනට ගුණපාල මුදල් ගැන කල්පනා නොකරන්නෙම තමන්ට වඩා හොඳට ස්වර්ණා ඒ ටික කරන හින්දා... අවුරුදු 46ක් වෙලත් තාම නාඹර ගැටිස්සියක් වගේ පෙනෙන ස්වර්ණා, අවුරුදු 52ක් වෙච්ච හබලට වැහැරිච්ච ගුණපාලත් එක්ක ජෝඩු දාලා යනකොට, ගුණපාල සීරුවෙන් ඇවිදිනවා කියලයි කොල්ලො තුන් දෙනා විහිලු කරන්නේ... 

ගුණෙයෝ... මොකද බන් දැලට හිනා වෙන්නේ...

අමරේ එහා ඔරුවේ ඉඳගෙන අහනකොටනම් ගුණපාලට ටිකක් චකිතයක් දැනුනා... ලැන්තෑරුම් එළියෙනුත් මූ බලාගෙන ඉන්නේ මගේ දැලට අහුවෙන මාළු ගැන... ගුණපාල තමන්ට කොඳුර ගත්තේ අමරපාලට ඇහෙයි කියන පරිස්සම නිසයි...

                                           ********


සුජියා තාම ආවේ නෑ... ගාමිණීගේ කඩේට වෙනදා කෝල් එකක්වත් දෙනවා පරක්කු නම්... ලඟක නැතුව ඇති.. නවසීලන්තේ කිට්ටුවට යනවා කියලා කථාවක් කිව්වට අපිට ඕවයේ දැනුම් තේරුම් තියෙන එකක්යැ.. පාන්දර නැගිටලා ලිප මොළවන ස්වර්ණාගේ හිතේ දාහක් දේවල්.. 

මද්දුවෝ.. වැල්ලට පලයන්, තාත්තා එනවා ඇති... 

ම්ම්....

කීවාම අහලා පලයන්කෝ පුතේ.. පොඩ්ඩෝ නැගිටලා පාඩම් කරහන්... 

මද්දු දඩි බිඩියේ නැගිට්ටේ පරක්කු වුනොත් තාත්තගේ කටින් පිටවෙන නොසරුප් වඳන් අහන්න ඇති අකමැත්ත නිසයි.. දත් මදින කුඩු පැකට් එකෙන් ටිකක් අල්ලට දාගත්ත මද්දු බුරුසුවත් ඒකේ අතුල්ලගෙනම පිටවුනේ කුස්සියේ පිටිපස්සේ වතුර කලෙන්ම මූණ හෝදන්න හිතාගෙන...

පසුගිය අගෝස්තු මස පැවැත්වුන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අද පිටවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි...

අම්මේ...

මොකෝ... 

ඇහුනද රේඩියෝ එකේ කියපු එක...

නෑ බන්.. මට ඇහුනේ නෑ...

අපේ ප්‍රථිපල එනවා කියන්නේ... 

ඕක එද්දි දවල් වෙයිනේ බන්.. දැන් ඉක්කනට වැල්ලට පලයන් අර නාකි මනුස්සයා කේන්ති ගස්සන්නේ නැතුව...

ප්‍රතිපල එන එකේ බරපතලකම දෙමවුපියන්ට එච්චර වැටහෙන්නේ නැති එක ගැනත් මද්දු සතුටු වුනා.. වෙරළට පිය මනින අතරේ දාහක් දේවල් කල්පනාවට ආවා.. ලියපු එකනම් හොඳට ලීවා.. සිංහල වලටයි ලොජික් වලටයිනම් ඒ එකක් ඒවි.. පොලිටිකල් තමයි ප්‍රශ්ණේ... බී එකක් ආවත් ඇති වෙයි.. සමස්ත ලංකා ජයග්‍රහනයක් තියෙන නිසා මොනව හරි කරගන්න බැරි වෙන එකක් නෑ... ඒත් කුමන හෝ හේතුවක් නිසා අසාර්ථක ප්‍රතිපලයක් ආවොත් කියන බය සුරේශ්ගේ හිතේ කොණක තිබ්බා.. එහෙම වුනොත් තමන්ට ඊලඟ අවුරුද්දෙත් විභාගෙට මුහුණ දෙන්න පුළුවන් උණත්, ලබන සතියේ සාමාන්‍ය පෙළ ලියන පොඩ්ඩාට කොහොම බලපාවිද කියලා සුරේශ්ට හිතුනා... ඊටත් නිරූව ලඳු ගානේ, මුළු ගානේ, හම්බෙලා එපා වෙලා තිබ්බේ.. හරියකට කතා කරන්නෙත් පංසලේදි විතරයි.. ඒකත් ප්‍රේමසිරියයි ගෑණියි ඉන්න තැන.. ප්‍රතිපලේ කොහොම වෙතත් නිරූවවත් හම්බ වෙන්න පුළුවන්නේ කියලා සුරේශ්ට හිතුනට ප්‍රතිපල ගැන ලොකු බලාපොරොත්තුවක් ඔහුගේ හිත ඇතුලේ තිබුනා...

වරෙන්කෝ අඩිය ඉක්මන් කරලා.. මෙතන ලමිස්සියෝ වගේ පද්දා පද්දා එන්නේ....

තාත්තාට සුපුරුදු විදිහට තරහ ගිහින් වග දැනගත්ත සුරේශ් වහාම කතාවේ මාතෘකාව වෙනස් කලා...

තාත්තේ, අද අපේ ප්‍රතිපල එනව කියලා රේඩියෝ එකේ කිව්වා...

මොන ප්‍රථිපලද බන්..?

ඇයි ඒ ලෙවල්..

උඹ කරායැ එහෙම විභාගයක්....

ඇයි අගෝස්තුවේ කලේ.. උසස් පෙළ...

අහ්.. එහෙම එකක් කළාද? උඹලගේ අම්මා කීවා තමයි උඹ මොකක් හරි එහෙම එකක් කලා කියලා.. මට ඕවගේ නිච්චියක් තියෙනවයේ බන්.. මෙන්න මේ ඔරුව ඇදහන් ගොඩට..

තවත් කියන එකේ තේරුමක් නැති නිසා සුරේශ් තාත්තත් එක්ක එකතු වෙලා ඔරුව ගොඩට ඇඳලා මාළු ටික දැලෙන් ගලවන්න තාත්තට උදව් කලා... මාළු කූඩේ අරගෙන තාත්තව තෙප්පමට පිටත් කරපු සුරේශ්, තාත්තගේ ආම්පන්න ටිකත් අරන් ගෙදරට ආවේ පිලී ගඳ යන්න නාලා පාසැල් යන්න හිතාගෙන... 

                                    **********


නැන්දේ.....

ආ.. දුවේ.... නිරාශාගේ කටහඬ දැන් සුවර්ණාට අමුතු දෙයක් නෙවෙයි... ප්‍රේමසිරි මුදලාලිගේ ගෙදරදි සුවර්ණාට නම කියලා කතා කරන නිරාශා තමන්ගේ ගෙදරදි නැන්දේ කියලා කතා කරනවා... ප්‍රේමසිරි මුදලාලිගේ ගෙදරදි බේබි කියලා කතා කරන ස්වර්ණා තමන්ගේ ගෙදරදි දුවේ කියලා කතා කරනවා... අහල පහලට දෑස් යැව්වේ මොකෙක්වත් ඉන්නවද බලන්න.. ඔය ටික ඇහුනනම් ඇති උන්ට ප්‍රේමසිරියාගේ කණේ තියන්න...

සුරේශ් ඉන්නවද?

ඔය ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්නේ...

මමත් ඉස්කෝලේ යන්න හිතාගෙන ආවේ නැන්දේ..? අද ප්‍රථිපල එනවලුනේ.. දන්නේ නැත්නම් ඒකත් කියලා සුරේශ්වත් එක්කගෙන යන්න ආවේ..

අනේ දරුවෝ.. මේ වට පිටේ එව්වො දැක්කොත් අපටත් විසුමක් වෙන්නේ නෑ...

මම තාත්තට කියලමයි නැන්දේ ආවේ.. අද සුරේශ් එක්ක යන්නේ කියලා... අම්මටත් කිව්වා.. යාළුවෝ නැති නිසා සුරේශ් එක්කවත් යන්න කියල කිව්වා...

එන්න ළමයෝ ගෙට... පුරුද්දට එහෙම කිව්වට නිරාශා කවදාවත් ගෙට ගොඩ උනේ නෑ.. පිළිතුරු උත්තරෙත් පුරුදු විදිහටම නිරාශාගේ මුවින් පිට වුනා..

කමක් නෑ නැන්දේ... මෙහෙම හොඳයි...

සුරේශ් ලක ලෑස්ති වෙලා නිරාශාත් එක්ක ඈතට යනකම්ම බලන් හිටියට මොකද, හදවත කොණක හීනියට ඇවිලෙන ගින්දරක් තියෙන බව ස්වර්ණාට දැණුනා..

ඉතින්....? නිරාශාම නිහැඬියාව බින්දා....

පිංතූරය මෙතනින්...                                                        මතු සම්භන්ධයි...

ප.ලි. අළුතින් ලියන්න පටන් ගත්තා වුනත් කට්ටිය දෙන සහයෝගය ඉතාම අගය කරනවා... ප්‍රසංශා අඩුපාඩුත් පෙන්නලා දෙනවානම් ඉතාමත් අගය කරනවා...


Thursday, August 30, 2012

රුදු රළ පෙළ මත දිවි.. 4


වෙසක් පෝය... කොත්දූව පංසලේ පිංකම් රැසක දවස... හිරූශ දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක් නිසාම පිංකමේ සෑහෙන වගකීම් ගොඩාක් කර පිට පැටලිලා තිබුනා... ගුණපාලත් ස්වර්ණාත් පංසලට යන්න හැදුවේ ඔවුන්ගේම ඔරුවේ... උදේ ඉඳන් පිලී ගඳ යනකම් ඔරුව හෝදපු ගුණපාලගේ හිතේ පංසල් යාම ගැන තිබුනේ අහිංසක ප්‍රීතියක්.. බඩ වියත රැක ගන්න මාළු අල්ලන එක කරාට, හිතේ කොණක තිබ්බ බලාපොරොත්තුව කොල්ලෝ තුන් දෙනා කවදහරි තමන්ව මේ පාපෙන් මුදවයි කියන එක.. ලොක්කා සුජියා සුසන්තයාගේ ටෝලරේ නගිනකොට නම් හිතුනේ ඒ පරපුරත් මේ මුහුදෙම යයි කියලයි, ඒත් උගේ අරමුණත් මල්ලිලා දෙන්නට හොඳට වියදම් කිරීම කියලා ස්වර්ණා තේරුම් කරලා දෙනකොට තමයි ගුණපාල යන්තම් හරි සැනසීමෙන් හුස්ම ගත්තේ...


සුරේශ් එක්ක සුජිත් පිටත් වුනේ කොළු රැලත් එක්ක පංසල් යන්න හිතාගෙන පාලම ගාවට යන්න... වැල්ලේ එල්ලපු බකට් ටිකට ලයිට් දමපු අයියා මලෝ, පාලම ලඟ දන්සලටත් පොඩි උදව්වක් කරලමයි කොණ්ඩ ඉශාගේ මෝටර් බෝට්ටුවට ගොඩ වුනේ..


මද්දු..

ලොකු අයියේ...

දැන් කෝමද උඹේ ප්‍රේම කථාව..? සුජියා දෙමවුපියෝ නැති එකේ උපරිම ප්‍රයෝජනය ගන්න හිතාගෙන ඇහුවා..

ඔන්න ඔහෙ යනවා අයියේ..

පරිස්සමින් කරගෙන පලයන්.. මම ඉස්කෝලෙ නොයන්නේ උඹලව ගොඩ දාන්න... ඒ නිසා ඉස්සෙල්ලා උඹ ඒ ගැන හිතලා හිටින්...

ඇයි..? අයියට අම්මවත් මොකුත් කිව්වද?

නෑ... අම්මට තියෙන එකම සැනසීම තමයි උඹ පරණ විදිහටම පාඩම් කරන එක.. ප්‍රේමසිරියගේ ගෑනිත් අරවා මේවා කියලා තියෙනවා අම්මට.. අම්මට බයයිලු ඒ ගෙදර උනුත් මේ ගැන දන්නව ඇති කියලා.. 

ඒක වෙන්න බෑ අයියේ... අපි වැඩිය එළි පහලියේ ගැවසෙන්නේ නෑ බන්...

ඒ කියන්නේ උඹලා දැන් යන්නේ කාමර ගානෙද..? ලොක්ක මද්දුවාගේ පිටට අතක් දාන ගමන් ඇහුවේ ඌට ලැජ්ජා හිතෙයි කියලා..

පිස්සුද ලොකු අයියේ.. මම කොහෙවත් ලව් කරන්න කියලා යන්නේ නෑ බන්.. හම්බෙන වෙලවට පොඩ්ඩක් කතා කරනවා.. මේක මහ පටලැවිල්ලක් කියලා මටත් තේරෙනවා අයියේ.. ඒත් මම ඒකිට ආදරෙයි.. විභාගේ ඉවර වෙනකන් ඔන්න ඔහෙ යනවා... ඊට පස්සේ බලනවා මොකක් හරි.. කිගෙ ආදරේ හරි අමුතුයි අයියේ.. ඒකයි මම කැමති...

හා හා... ඔය ඇති... කරන දෙයක් මොලේ ඇතුව කරහන්.. වැල්ලේ අනිත් එව්වෝ වගේ නෙවේනෙ අපි.. එක විදිහකට හිටපු මිනිස්සු.. ඒ නිසා ඒ ගැන හිතලා කරන දෙයක් කරපන් මද්දු.. දැන් බැහැපන්....

ලොකු අයියගේ අනින් හිස එසවූ මද්දුට පෙනුනේ දහස් ගණන් පහන් සිළු වලින් එකාලෝක වෙච්ච කොත්දූව රජ මහා විහාරය.. බෝට්ටුවෙන් බැස්ස වෙලේ ඉඳන් ඔහුගේ ඇස් හෙව්වේ එක රුවක්...

කලබල වෙන්න එපා මද්දු.. ගමේ ගෑනුන්ගේ ඇස් අපට වඩා තියුණුයි.. ඒ නිසා අද පරිස්සමින්...

මද්දුට එක පාරටම සිනා පිටවුනේ දැකපු දෙයින්...

මොකද මද්දු?

මමනම් යාළුවුනේ එකෙක් එක්ක.. අරූ ගමේ කෙල්ලෝ ඔක්කොම උස්සයි වගේ.. අර වට කරගෙන ඉන්න හැටි...

මද්දු පෙන්නූ දෙස බැලූ සුජිත් දැක්කේ නව යව්වන තරුණියෝ කීප දෙනෙක් මැද්දේ පින්කම් වැඩ මෙහෙයවමින් හිටපු හිරූශව... 16 හැවිරිදි පොඩ්ඩා තමයි පවුලේ ලස්සනම කොල්ලා.. උගෙ ඉගෙනීමේ හැකියාවත්, ක්‍රීඩා කෞශල්‍යයත් නිසා යන හැම තැනම කැපිලා පෙනුනා.. වැල්ලේ හිටපු ලස්සනම කොල්ලා කියලයි තාත්තා ඌව හැන්දිවූයේ... උඹ පරිස්සමින් ඉදපන් පොඩ්ඩා.. සුද්දෙක් දැක්කොත් උඹව අරන් යයි ඒරොප්පෙට.. තාත්තයි අයියලයි නිතරම මෙහෙම කියමින් පොඩ්ඩව කේන්ති ගැස්සුවා..

මට ඕකත් හම්බ වෙයිද දන්නේ නෑ අම්බලන්ගොඩ ස්ටේශමේදි කෙල්ලෙක් එක්ක ලව් කර කර ඉන්නවා...

අයියාගේ ඒ කථාවෙන් නම් සුරේශ් ලැජ්ජාවට පත්වෙලා ගියා.. ඔහු මොකුත්ම නොකියා තමන්ට අවැසි රුව සොයා දෙනෙත් යවන්නට වුනා... 

පින්වතුණි,

අද වෙසක් පෝය දවසේ මම අප මහා බුදුරජානන්ගේ තෙමඟුල ගැන බණ කියලා වැඩක් නෑ... අපේ එදිනේදා ජීවිතයේ දී අපි නොහිතන බොහොම සුළු දේවල් නිසා අපේ වටේ ඉන්න ගොඩාක් අය අපහසුතාවයට පත් වෙනවා.. අන්න ඒ වගේ කරුණු ගැන තමන් මීට වඩා හිතන එක තමයි පින්වතුනි වැදගත්... අපේ මේ දහම් පාසලේ එක එක ජාතියේ, එක එක තරාතිරමේ, එක එක වයස්වල, දරුවෝ ඉන්නවා... ඔය ගඟේ බැම්මෙන් බැහැලා විහාරස්ථානයට ගොඩ වෙද්දි ඒ එක එක දේවල් ගඟටම දාල එන්න කියලා තමයි මම කියලා තියෙන්නේ... ඉතින් පිංවතුනි ඒ එක එක ළමයි එක් අයෙක් වෙලා කරපු වෙසක් පිංකම් මාලාව කොච්චර ලස්සනද කියලා බලන්න.. මේ දහම් පාසලෙන් ගන්න ආදර්ශය... ගමේ අපිත් එක පවුලක්..එහෙමයි වැඩ කරන්න ඕන... මටයි ලොකු හාමුඳුරුවන්ටයි රණ්ඩු බේරලා ඉවරයක් නෑ.. ඉතින් පිංවතුනි මේ පිංබර වෙසක් දවසේ අපි හිතා ගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි.. අපි ඇතිකරගන්න ඕන අන්න ඒ වගේ සිතිවිලි...

පණ්ඩිත හාමුදුරුවන්ගේ බණ අහගෙන හිටපු ස්වර්ණාට අනේ අපිනම් එහෙම නෑ හාමුදුරුවනේ කියලා හිතුනා... හිරූශ එන්න කොහොමත් රෑ වෙන නිසා දෙන්න දෙමහල්ලෝ යන්න පිටත් වුනා.. ලොක්ක සුජිත්, මල්ලිව හෙව්වේ අම්මලා එක්කම ගෙදර යන්න. ප්‍රේමසිරි මුදලාලියි, බිරිඳයි, නිරාශායි, එක්ක ලොකු කතාවකට වැටිලා හිටිය සුරේශ් දැක්ක ලොකු අයියගේ මුවට සිනාවක් නැගුනේ නිරායාසයෙන්.. 

මූ නම් ලකුණු දාගන්න දෙයියා....

මෙහෙම හිතමින්ම සුජිත් අම්මයි තාත්තයි එක්ක පල්ලම් බැස්සේ ගෙදර යන්න... 


පංසලේ ඉඳන් ගෙදර එන හැමෝගෙම හිත් නිවිලා පහන් වෙලා... එදා රෑ නිදි ඇඳට යනකොටත් ස්වර්ණාගේ ඔලුවේ තිබ්බේ පොඩි බරක්.. නිඳි ඇඳට ඉතින් වෙසක් පෝය කියලා නෑ ගුණපාලට... අළුත බැන්ද වගේ වගේ ගුණපාලගේ දිග ඇරපු වම් අත උඩ හිස තියාගෙනම ස්වර්ණා දොඩමළු වුනා...

මහත්තයෝ..

මොකො....?

පොඩි එකාත් මොනා හරි එකක පැටලෙයිද? අර පංසලේ කෙල්ලෝ වට කරගෙන මට නිකන් බයේ බෑ කියලා හිතුනා අප්පේ...

දැන් උට වයස කීයද?

16යිනේ.. මේ දෙසැම්බරේ විභාගෙත් ලියනවා නොවැ..

උඹ මාත් එක්ක ආවේ කීයෙදිද සුවර්ණෝ...?

16දිනේ...

එහෙනම් ඉතින් මඟුලක් දොඩෝනවද බොලාලා...

ඔය කිව්වේ ඉතින්.. ස්වර්නා නොරුස්නා මුහුණ ගුණපාලගේ පපුවේ ඔබා ගත්තා...

පිංතූරය මෙතනින්...                                                        මතු සම්භන්ධයි..


Wednesday, August 29, 2012

රුදු රළ පෙළ මත දිවි.. 3


ස්.. ස්..

ඇයි මොකද?

පොඩ්ඩක් මෙහෙ බලන්නකෝ.....

ඒ මොකටද?

අපෝ මෙයාගෙ තියෙන ගණං.., 

ඔව්....

මම යනවා යන්න...

ඉතින්.....

නපුරා.....

නපුරු නෑ සුදා....

වැඩක් නෑ.. හැමදාම මාව තරහ ගස්සලා අන්තිමට එනවා සුදා කියාගෙන...

ඉතින් සුදාට සුදා නොකිය වෙන මොනා කියන්නද?

ඔය කට තියෙනකන් දිනාවි... ඉතින් සුරේශ්.. ඊයේ අයියා දැකලා මොකද වුනේ.. මට නින්ද ගියෙත් නෑ අප්පා...

ලොකු අයියා දැකලා තිබ්බා නිරූ... ගෙදර ඊයේ රෑ මළ ගෙයක් වගේ... අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු එක රැයින් බිඳ වැටුනා වගේ එයාලා හිතන්නේ... අපි දෙන්න යාළු වෙන්න ඉස්සෙල්ල මම ඔයාට කියපු දේවල්ම, මුළු පවුලේ ඔක්කොම එකතු වෙලා මට කිව්ව නිරූ... පව් ඒ මිනිස්සු... සුරේශ් නිරාශා දිහාට හැරුනේ හදවතේ බරටම පිරවුන සුසුම, නාසයෙනුයි කටිනුයි දෙකෙන්ම එලියට දමන ගමන්... මුහුණේ තිබුණ බැරෑරුම්කම වටහාගන්න නිරාශාට මොහොතක්වත් ගත වුනේ නෑ.. 

ඔහොම ඉන්න එපා සුරේශ්... මම හින්දා ඔයාට කරදර නේද..?

කරදරයක් නෑ නිරූ... මේ කරදරවලට මම ආසයි... ඒත් මේ ආදරේ නිසා අපේ ගෙදර මිනිස්සුන්ගේ ජීවිත අසරණ වුණොත් මට ඒ පව ගෙවන්න හිත හදාගන්න පුළුවන් වෙන එකක් නෑ..

අපේ තාත්තා නපුරුයි තමයි.. අපි මොකද කරන්නේ සුරේශ්...

ඉස්සරහට වෙන දෙයක් බලමු නිරූ... කොහොමත් අපි ටිකක් ප්‍රසිද්ධියේ හැසිරෙන එක නවත්තමු... ඔක්කොටම කලින් මේ විභාග මඟුල ගොඩ දාමු...

මෙච්චර දේවල් ඔලුවේ තියාගෙන කොහොම පාඩම් කරන්නද මන්දා සුරේශ්...

ලමයෝ... අපි දෙන්නගෙ ජීවිතේ, මේ ආදරේ නෙවෙයි... අපි ඉහලට යන තරමට තමයි අපිට දිනන්න පහසු වෙන්නේ.. ඒ නිසා මේවා ගැන හිතන්නේ නැතුව පාඩම් කරන්න.. අපේ ගැලවීම තියෙන්නේ එතන කියලා හිතන්න.. බැරි දෙයක් තියේනම් මගෙන් අහන්න... තේරුණා නේද මයෙ මැණික...

හ්ම්ම්.. යමු සුරේශ්... ඔයා නිසා තමයි මම මෙහෙමවත් පාඩම් කරන්නේ.. අපේ තාත්තා මට කියන්නේ ගොන් කරත්තේ කියලා...

නියම නම.. ගොන් කරත්තේ...

ඒ පාර ඔයත් පටන් ගත්තද? අපි අද බස් එකේ යමුද?

ඔයා බස් එකේ යන්න.. මම කෝච්චියේ යන්නම්.. කොහොමත් විභාගෙ ඉවර වෙනකම් අපි ටිකක් පරිස්සමින් ඉඳිමු...

එහෙනම් මම බස් එකේ යනවා.. මම ආදරෙයි සුරේශ්.. තිශාලා ඉන්නවා ස්ටෑන්ඩ් එකේ.. මම එයාලත් එක්ක යන්නම්.. බුදු සරණයි සුරේශ්... පරිස්සමින් යන්න...

බුදු සරණයි මගෙ මැණික.. මම යනවා ස්ටේශන් එකට.. පරිස්සමින් යන්න ගොන් කරත්තේ...

අහුවෙන්නකො හෙට උදේ.... මම පෙන්නන්න ගොන් කරත්තේ තරම.... මුවට නැගුන මඳහස අතරින් එහෙම කියනකොටත් සුරේශ් දුම්රියපල දෙසට සෑහෙන දුර ගිහින්... සුරේශ්ගේ තියෙන සරල සැහැල්ලුකමටයි, කටකාර දඟකාරකමටයි, වෙන පිරිමි ළමයි ලඟ නැති නිරහංකාර ගති පැවතුම්වලටයි, නිරාශා අසීමිතව ආදරය කලා... 


අඩෝ ආවද කරත්තේ දක්කලා... කෝච්චිය විනාඩි 20ක් පරක්කුයි.. වරෙන් යන්න ප්ලේන්ටියක් ගහන්න..

අතේ පිච්චිය නෑ බන්.... සීසන් එක විතරයි තියෙන්නේ....

කවුද බන් සල්ලි ඉල්ලුවේ... සිගරට් එකකුත් අදිමුද?

මම නැවැත්තුවා බන්.. ආයෙ බොන්නෙ නෑ සිගරට්....

අනේ පලයන්.. ඌරෝ ගූ කන එකත් නවත්තයි බොලා බට නැවැත්තුවොත්...

යමන් යමන්.. තොපිත් එක්ක පුළුවන්ද මිනිහෙක්ට හැඳෙන්න...

අජියා.. දාහන් ප්ලේන්ටි දෙකයි ගෝල්ලීප් දෙකයි...

සිකරට් ඉවරයි මහත්තයා....

*කලා තියෙන්නේ.. ඔය බලපන්කෝ.. අපේ අතේ සල්ලි තියෙන දවසට තමයි ඒවත් ඉවර වෙන්නේ.. ගෙනෙන් බන් එහෙනම් ප්ලේන්ටී දෙකවත්....

අල්ලපු මේසේ හිටපු අන්කල්ගේ තේ එකත් ඉස්පොල්ලෙ යනවා තව පොඩ්ඩෙන්....

හෙමින් කෑ ගහපන් බන්...

හෙමින් කොහොමද *ත්තො කෑ ගහන්නේ....

මුන්ට කියන කට හඳයි රේල් පීල්ලක උලා ගන්නවා.. සුරේශ් තනියම හිතාගෙන ප්ලේන්ටිය තොල ගාන්න පටන් ගත්තා....

මචන් සුරේශයා...

ඇයි?

මොකක්ද අවුල...?

අවුලක් නෑ බන්....

බොරු කියන්න එපා බන්.. මට උඹව කියවන්න පුළුවන් කියලා උඹ දන්නවනේ..

පොඩි ප්‍රශ්ණයක් තියෙනව මචන්.. ඊයේ නිරූයි මමයි ස්ටේෂන් එකේ බංකුවට වෙලා ඉද්දි ලොක්කා දැකලා බන්..

අප්පට සිරි... ඉතින්...

ගෙදර ගිණි අරන්... ඒ මිනිස්සු දන්නවා මම වැරදි දෙයක් කරන්නේ නෑ කියලා.. ඒත් නිරූලාගේ තාත්තාගේ හැටි දන්නවනේ බන්...

ප්‍රේමසිරියා නම් හෙන *රියා බන්... විකල්පෙකුත් නෑනේ මචන්... අපි ඔය ගැන කතා කරන පළවෙනි දවස නෙවෙයිනේ බන්... උඹලගේ අයියා දැක්ක නිසා කතාව ආයෙත් අළුත් වුනා...

ඔව්.. යමන්...

තිසල් සහ සුරේශ් දෙන්නම එකම ගමේ.. පොඩි කාලේ ගමේ ඉස්කෝලෙත් දැන් අම්බලන්ගොඩත් එකම පන්තියේ ඉන්නේ.. ඒ නිසාම දෙන්නගේ හැඟීම් දෙන්නට දෙන්න හොඳින් දන්නවා... සාමාන්‍ය පෙළ සමත් වෙච්ච දෙන්නටම තිබ්බේ එකම හීනයක්.. ඒ උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා නීති පීඨයට ඇතුල් වෙන එක... කෝච්චියේ ඩක ඩකස් සද්දෙ මැද්දේ තිසල් ආයෙත් කතාව අරඹන්න වුනා..

මම කීවා උඹට මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකට බහින්න එපා කියලා....

කවුද බන් බැස්සේ... හිතල බැස්සද? දන්නෙම නැතිව වැටිලනේ බන්...

එක්සෑම් ඇනගන්න එපා බන්... උඹ දන්නවනේ.. අපි දෙන්නා එකම දවසේ දිවුරුම් දෙන්න ඕන...

මම දන්නවා බන්... මට තියෙන එකම අවස්තාව ඔතන කියලා.. අපි තුන්දෙනාගෙම හීනේ වෙරළින් මිදෙන්නෙ කොහොමද කියලා.. අම්මා ටිකක් හරි දැනුම් තේරුම් තියෙන හින්ද, පොඩි කාලේ ඉඳම්ම අපිට පාර කිව්වා.. ලොක්කත් හෙන මීටරේ බන්.. ඌ ඉස්කෝලේ යන්නේ නැතුව ටෝලරේ නැග්ගේ මාවයි පොඩ්ඩවයි ගොඩ දාන්න...

දැන් නිරාශා මොකද කියන්නේ....

ඒකම තමයි බන් හිතේ නිදහස.. වෙන කෙල්ලෝ වගේ අරහෙ මෙහෙ යන්න, අරව මේවා ඕන, ඒ මොකුත් කතාවක් නෑ.. වෙනද තිබ්බ යාළුකමට ආදරේ මික්ස් වෙලා තියෙනවා.. ඒ හින්දා අවුලක් නෑ.. කියන දේත් තේරුම් ගන්නවා බන්. වෙන උන් වගේ කන්දොස්කිරියාවක් නෑ...

ඒකත් ලොකු දෙයක්නේ... මට මල්ලිකාගෙන් ඇති වුනා ලවු කරන එකනම්.. ඇඟ හිරි වැටෙනවා මතක් වෙනකොටත්...

මට මතකයි... ඒකි උඹව ඇඳලා අරන් කිස් කරන හැටි ඒ කාලේ...

අනේ පලයන් *කෝ යන්න.. තෝත් ඉතින් මටම හිනාවෙයන් පරයා...

තිසල් එක්ක ගෙවුණු කාලය නිසා සුරේශ් සැහැල්ලු සිතින් ගෙදර ආවා.. ඒ වෙනකොටත් තාත්තා මුහුදු ගිහින්.. අම්මා කුස්සියේ මොනවද උයනවා.. අම්මා වැඩ ඇරිලා ඇවිත් තාත්තට බත් ගෙනියන්න උයන එකේ තමන්ගේ පංගුව මැටි කෝප්පෙට බෙදාගෙන සුරේශ් පිලේ වාඩි වුනේ මුහුද දිහාව බලාගෙන...

ඉපදිච්ච දවසේ ඉඳලා හැමදාම දැකලාත්, මේක එපා වෙන්නේ නැති හැටි... අපේ ජීවිතත් හරියට මේ මුහුදු රැල වගෙයි.. මුහුද ගැන හිතද්දි සුපුරුදු පරිදිම මුහුද ගැන ස්නේහයක් හිත අස්සෙන් ඉපදිලා හීනි සිනාවක් විදිහට තොල් අග්ගිස්සෙන් පිට වුනා සුරේශ්ටම දැනුනා... 

පින්තූරය 1 මෙතනින්...                                                  මතු සම්භන්ධයි.. 


Tuesday, August 28, 2012

රුදු රළ පෙළ මත දිවි.. 2


දහසක් වැඩ රාජකාරි මැද්දෙත් ස්වර්ණා ගේ හිත යොමුවෙලා තිබ්බේ මද්දුමයගේ පෙම් පලහිලව්ව ගැන.. ඒකා විභාගෙන් පාස් වෙච්ච දවසෙ තිබ්බ සතුට නිකන්ම හේදිලා ගිහින් වගේ... විභාගේ පාස් වුනේ නැත්නම් මූ යනවද ලොකු ඉස්කෝලෙට.. ස්වර්ණාගේ හිතට දැනුනේ එහෙමයි... ඒ සිතිවිල්ලත් එක්ක ස්වර්ණාගේ හිත අතීතෙට යන්න පටන් ගත්තා...

අවුරුදු 16දි ගුණපාල දැක්කම හිතේ ඇතිවුන හැඟීම ආදරයක්ද කියන එක ඇයට තාමත් හිතාගන්න බෑ.. දැන හඳුනාගෙන දවස් දෙකක් යද්දි, මහ රෑ ගුණපාලත් එක්ක උගේ පැලට ආවේ කසාදයකට තිබිච්ච කැමැත්තටත් වඩා ඉස්කෝලෙ යන්න තිබ්බ අකමැත්ත නිසාදෝ කියලා දැන් ස්වර්ණාට හිතෙනවා... කොහොමත් ගිය හකුරට නාඩන්නේ කියලා ජීවත් වෙන්න හිත හදාගත්ත ස්වර්නා, අවුරුදු 24 වෙද්දි දරුවො තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දොස්තර මහත්තයාම කතා කරලා බඩ කැපුවේ නැත්නම්, මේ වෙද්දි ඒ පෝලිමට තව කී දෙනෙක් එකතු වෙයිද කියලා කොහොම කියන්නද කියලා හිතෙනකොට, ස්වර්ණාගෙ මුවින් හීන් සුසුමක් පිටවුනේ නිරායාසයෙන්..


මොනවා වුනත් වැල්ලේ අනිත් මිනිස්සුත් එක්ක බලද්දි ගුණපාල දාහෙන් සම්පතයි කියලා හිතෙනව ඇයට.. සතියකට කීප වතාවක් කසිප්පු හරි රා ටිකක් හරි කටේ ගා ගත්තට පරණ ගීතයක් බෙරිහන් දෙමින් ඇදෙනවා විනා, කුණුහරප සංඩු සරුවල් නොමැති එකම මදැයි කියලා ස්වර්ණාට හිතෙන වාර ගනන කොච්චරක්ද? ළමයින්ගේ අඩුපාඩු උවමනා එපාකම් ගැනත් මේ මිනිහා ඉඳලා හිටලවත් අහනවනේ කියන සිතිවිල්ලත් හම්බ කරන සේසත කසිප්පු කාරයාටයි රා කාරයාටයි පුදන්නේ නැතිව තමන් අතටත් කීයක් හරි මිට මොළවන එක ගැනත් ස්වර්නා හිටියේ ටිකක් සතුටින්.. වැල්ලේ ඉන්න අනිත් ගෑණුත් එක්ක බලද්දි තමන් යන්තමින් හරි ණය නැතුව ඔළුව උස්සගෙන ඉන්නවනේ කියන සිතිවිල්ලත් ඇයගේ හිතේ ඇති කලේ සැනසිල්ලක්.. ඒත් ඉදින් නිදි ඇදේ ගුණපාල හැසිරෙන තරුණකමනම් දැන් ඇයට වදයක් වේගෙන එන හැඩයක් තමයි තියෙන්නේ... ඒත් ඉතින් මිනිහා වෙන ගෑනු පස්සේ නොයන නිසා තමන්ම ඒකත් දෙන්න එපැයි කියලා ඇය තනියම තමන්ගේ හිත හදා ගත්තා..

කොල්ලොම තුන්දෙනෙක් ඉන්න පවුල වැල්ලේ චන්ඩි පවුලක්.. ලොකු එකා සුසන්ත එක්ක මුහුදු යන්න ගත්තට පස්සේ පොඩි ගානක් හරි අතට එන හින්දත්, මද්දුමය විභාගෙ පාස් වෙලා අම්බලන්ගොඩ ලොකු ඉස්කෝලෙකට යන හින්දත්, පොඩ්ඩ තමන්ගේ ඉගෙනීම හොදින් කරගෙන ගිහින් පන්තියේ මුල් ස්ථානයක නිතරම ඉන්න හින්දත්, දරුවෝ සම්භන්ධයෙනුත් ස්වර්ණාට ලොකු ගැටළුවක් තිබ්බේ නෑ.. ඒත් තාත්තගෙ තිබ්බ හිතුවක්කාරකම වගේම මුරණ්ඩු ගතිය පොඩි උන් දෙන්නටම ඒ වගේම පිහිටලා තිබ්බ එක ගැනනම් ස්වර්ණාගේ හිතේ ඇති කලේ බියක්.. මද්දුමයයි පොඩ්ඩයි දෙන්න ඉගෙනුමට කොච්චර දක්ශ උනත් කුකුල් කේන්ති කාරයෝ.. මුන් දෙන්නව දොස්තරෙකුට පෙන්නපන් කියලා වැලිගම නැන්දා කොච්චරවත් කීවට ඒවට කොහෙන්ද සල්ලි.. වෙන ඕන දෙයක් වෙනකම් ඉන්නව මෙ වගේම ඉස්සරහටත්, කියලා ඇය උපෙක්ෂාවෙන් හිතුවා..

මෙහෙම හොඳින් හිටපු පවුලට පාත් වෙච්ච එකම හෙණ ගෙඩිය තමයි මද්දුමයා ප්‍රේමසිරි මුදලාලිගෙ දුව නිරාශාත් එක්ක ඇති කර ගත්ත සම්භන්ධේ.. ඊයේ සුජියා අම්බලන්ගොඩ ගියපු වෙලේ දැක්කේ නැත්නම් මේ ගැන හාංකවිසියක්වත් දන්නෙ නෑනේ කියලා හිතුනා වගේම නොදැන හිටියානම් කොච්චර හොඳද කියලත් ස්වර්ණාට නොහිතුනා නෙවේ..

වැල්ලේ ලෑල්ලෙන් නිමවුන ලෑලි ගෙදරත්, එකම වත්කම වෙච්ච ගුණපාලගේ ෆයිබර් බෝට්ටුවත්, ගිනිබත් කරන්න ප්‍රේමසිරි මුදලාලිට යන්නේ ඔහොම ස්වල්ප වෙලාවක් කියන එක ස්වර්ණාට පැහැදිලියි.. ඒත් ඊයෙ මද්දුවාට කියපු කථා අවවාද ඔක්කොම ගඟට කපපු ඉනි වගේ ගහගෙන ගියපු හැටි සිහියට එද්දි, ඇහැට නැඟුණ කඳුල චීත්ත රෙද්දෙන් පිහ දැම්මේ, හිතේ ගින්දර එහෙමම ඇවිලෙද්දි...

මොකද සුවර්නෝ අඬන්නේ...

නාලනී නෝනාගෙ සද්දෙන් පියවි සිහියට ආපු ඇයට බිල්ලට දෙන්න තිබ්බේ අතෙ තිබ්බ රතු ලූණු වට්ටිය විතරයි...

මේ ලූණු ඉස්ම ගියා නෝනා...

ස්වර්ණා නැගිට්ටේ කුස්සියට යන්නම නොවුනත් නාලනී නෝනගෙන් මඟ හැරීමේ උවමනාව ඇයට දැඩිව තිබ්බා...

කොහොමද සුවර්නෝ මද්දුවාගෙ අළුත් ඉස්කෝලේ...

හොදයිලුනෙ නෝනෙ.... දැන් අවුරුද්දකුත් ගියා නෙවැ...

අපේ නිරාශා කිව්වේ එයාගෙ පන්තියේමයි කියලා මද්දුවා... නිකන් උගන්නන එකේ හෙණේ තමයි....

අසරණකමට සාප කරපු ස්වර්ණා මුවින් නොබැන හාල් වට්ටිය අතට ගත්තා....

ඌ පන්තියෙ දෙවනියාලු නේද?

එහෙමයි නෝනේ... කොල්ලා ඉගෙනුමට දක්ෂයි නෙවැ.. ගමේ ඉස්කෝලෙ මහත්තයාත් කිව්වේ යන තැනක හොඳින් ඉදියි කියලා...

අනේ මන්දා අපේ උන්ට මෙච්චර තිබිලත් ඉගෙන ගන්න බැරිකොට උඹලගෙ එවුන් මොනා තිබිලා ඉගෙනගන්නවද කියලා...

අසරණ වීම අද ඊයෙක පුරුදු පුහුණු කරපු දෙයක් නොවෙන නිසා ස්වර්ණා නිහඬවම හාල් ටික අහුලන්න ගත්තා... 

ඒ වුනාට සුවර්නෝ.., ඔය ලොකු ඉස්කෝලවල හිත එකතැන් කරගෙන ඉන්න අමාරුයි.. ඇහැ ගහගෙන ඉඳින්. කොහෙහරි යන නැට්ටිච්චියක් කරේ එල්ලගන්න බැරි නෑ ඕකව...

ස්වර්ණාගේ හිත පිච්චිලා ගියේ නෝනා මේක දැනගෙන කියපු කතාවක්ද, නොදැන කියපු කථාවක්ද කියලා නොදන්න නිසා... පොඩ්ඩව හම්බෙන්න ගිහින් මුහුණ දුන්න වද හින්සා වලදි දැනිච්ච වේදනාවට වඩා වේදනාවක් හිත ඇතුලේ තියෙනවා වගේ ස්වර්ණාට දැනුනා...

මගේ හිතෙත් බය නැතුවා නෙවෙයි නෝනේ.. උගෙ වයසත් හොඳ නෑ නොවැ...

ස්වර්ණා නැගිට්ටේ කථාවට තිත තියාගෙනමයි... තව දිග් ගැහුනොත් මොනවැයින් මොනවා වෙයිද කියලා ඇයට නිච්චියක් නැති වුනත් එතනින් යන එක කෝකටත් හොඳයි කියලා ඇයට දැනිලා තිබුනා... රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕන කියන සිතිවිල්ලෙන් ඇය පිටත් උනේ ගුණපාලට මුහුදු යන්න කලමණා ලැහැස්ති කරන සිහියෙන්..

පින්තූරය මෙතනින්...                                                 මතු සම්භන්ධයි.....

Monday, August 27, 2012

රුදු රළ පෙළ මත දිවි..


මාළු ලෑල්ල දිහාවට ඔන්න ඔහේ ඇවිදගෙන ආපු සුජියා නැවතුනේ කපුටෙකුට ගලක් ගහන්න.. උදේ පාංදර තොර තෝංචියක් නැතිව බෙරිහන් දුන්න තෙප්පම දැන් සද්දයක් නැතුවම ඉන්න හැටි දැක්කම සුජියාගේ කම්මැලිකම දෙගුන තෙගුන වෙලා ගියා... ඉස්කෝලේ ගිය මල්ලිලාත්, කුලී වැඩට ගිය අම්මාත්, රෑ තිස්සේ මුහුදු ගිහින් ඇවිත් දවල් වරුවම නිදියන තාත්තාත්, නිසා ගෙදර තිබ්බ කම්මැලිකම ඇරවාගන්න එළියට බැහැපු සුජියාට තෙප්පම දැකලා වුනේ තවත් කම්මැලිකම වැඩි වෙච්ච එක විතරයි... තෙප්පමට අල්ලපු ඇන්තනි අයියගේ ලෑලි ගෙදරින් වික්ටර් රත්නායකගේ සිංදුවක් ඇහුනා...


මූදු ගියා ලෙලි තැලුවා..
පිලී ගඳින් බෑ මිඳෙන්න...
ඒත් අපේ මල් සුවඳයි..
එපා භාර නොගෙන ඉන්න....
දලඳා හාමුදුරුවනේ.....
පාත මාලයට වඩින්න....

ගමේ පංසලේ හාමුදුරුවොත් අපි දිහා බලලා අහක බලන එකේ දලඳා හාමුදුරුවෝ බලයිද කියලා සුජියට හිතුනා...

අඩෝ.. මොකො උඹ කැරකෙන්නේ...

අජියාගේ සද්දෙන් පොඩි පණක් ආවත් කුසීතකම එලෙසම රැදිලා තිබ්බා ගතේ වගේම හිතෙත්....

නෑ බන්.. ගෙදර ඉන්න කම්මැලි... පොඩ්ඩක් වැල්ලට යන ගමන් මෙතන නැවතුනා...

අනේ රෙද්දේ කම්මැලිකම.. වරෙන් යන්න රා කට්ටක් ගහන්න... 

රෙද්දෙ රා.. මට බෑ බන්.. සුසන්ත අයියත් එක්ක මූදු යන්න තියෙනවා ටෝලරේ...

ඇයි රා ගාපුආම මූද හිදෙනවද? අනේ නිකන් වරෙන් **තො යන්න....

නෙද්දකින් කියා සිතින් මිමිනූ සුජියා අජිත් පසු පස පියවර එසව්වා...

ලුණු කැටේ එක්ක තොල ගාපු පොල් රා කට්ට හිතට පොඩි නිවනක් රැගෙන ආවා කියලා සුජියට නොහිතුනාම නෙමේ... ලාවට දැනෙන රා මතත් එක්කම පුංචි කාලේ ඉඳන් දුක සැප බෙදාගත්ත අජිත් එක්ක දොඩමළු වීම සුජියා සෑහෙන කාලෙක ඉඳන් ආස කරන දෙයක්....

මොකෝ සීන් එක.. කෝ උඹේ කංකරච්චලේ.. මොකෝ පටන් ගන්න පරක්කු....

තම සිත හොඳින්ම දන්න එකාගේ කතාවෙන් මන්දස්මිතයක් ඇදගත්ත සුජියා පොල්ගහ පාමුළ ඇන තියලා ගහට පිට දුන්නා.. අජියා තව පොල්කටු දෙකක් අරගෙන ඇවිත් එකක් මිතුරාට දික් කරන ගමන්ම පොල් ගහලඟ තණ බිස්සේ දිගාවුනා...

අජියා.., මල්ලි ප්‍රේමසිරියගේ දුවත් එක්ක යාළුවෙලා බන්....

*කනවා... අජියා කිව්ව නෙවෙයි කියවුනා...

තරුණ ගත සිත කොච්චර හැඩි දැඩි වුනත් මොන දේට එකා වගේ කඩු පොලු අරගෙන සටනට ගියත්, ප්‍රේමසිරි මුදලාලිගෙ අණ පිලි නොපදින එකෙක් වැල්ලේ හිටියේ නෑ.. එහෙව් උගේ දුවත් එක්ක සුජියගේ මලයා පැටළුන එක අජියාට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ දැනුනා....

ඉතින් උඹලා ඌට කිව්වේ නැද්ද ඔය මඟුල හරි යන්නේ නෑ කියලා.... ඕලෙවල් පාස් කියලා ගෑණියෙක් ගේන්නද බන්....

කිව්ව බන්...

ඉතින්..? අජියගේ කටහඬ කුතුහලෙන් පිරිල කියලා දැනුනත් සුජියා තමන්ගෙ පාඩුවේ උත්තර දුන්නා...

ඌ කියනවා උට මොනවහරි කිව්වොත් මරාගෙන මැරෙනවළු..

අනේ ඌට නටා ගන්න කියහන්... උන් මූව කෑලි කරයි බන්...

වැඩක් නෑ බන්... ඌට කියලා... ඌත් අප්පගෙම පුතා.. 

සුජියා............. සුසන්ත අයියා කට්ටිය එකතු කරනවා මූදු යන්න... පොල් ගහ මුලින් නගිට්ට සුජියා ඉතිරි රා ටිකත් කටේ හාලාගත්තා... සුසන්තයියගේ දිහාට පිය මනින ඔහුට අජියාගේ කටහඬ ඇහුනේ මූදු හුලඟ අස්සෙන්...

මම ඉශාරයාට කියන්නම් ඕක නවත්තලා දාන්න කියලා...

වැඩක් නෑ බන්... සුජිය කිව්වේ එච්චරයි....

ගෙදරට ගිය ගමන්ම ආම්පන්න රැගෙන පිටත් වෙච්ච සුජියා තනියම කල්පනා කරා තමන් ගෙදර නැති ඉදිරි සතියේ මොනවයින් මොනවා සිදු වෙයිද කියලයි... ඔන මගුලක් දෙකයි පනහයි කියලා හිතාගෙන සුජියා වරාය පැත්තට පිය මැන්නේ සුසන්ත අයියගේ කටින් කුණුහරප පිටවෙන්න කලින් ටෝලරේට නැගගන්න හිතාගෙන....

ටෝලරේ ඇතුලේ සින්දු කිව්වේ නන්දා මාලිනී...

ප්‍රේමය නම්.. රාගයෙන් තොර..
සඳ එළිය සේ අචින්ත්‍යයි.... පාරිශුද්ධයි, සුරම්‍යයි....

ආච්චිගේ රෙද්ද... කේන්තියෙන් මුමුණපු සුජී කට්ටිය එක්ක දැල් සකසන්න පටන් ගත්තා...

 පින්තූරය මෙතනින්..                                                     මතු සම්භන්ධයි...